වසර 37 කට පසු තලෙයි මන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණයට

වසර 37 කට පසු තලෙයි මන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණයට

පැවති කුරිරු යුධමය වතාවරණයක් සමඟ කැඩී බිඳී  දිරාපත් වු තලෙයි මන්නාරම ජැටිය යලි ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරන් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ අනුව විෂයභාර අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ජැටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට  වරාය අධිකාරිය විසින් සැලසුම් සකස් කර ඇති අතර,ඒ සඳහා රුපියල් මිලියන 1800 ක පමණ  මුදලක් ඇස්තමේන්තු කර ඇත.

ජැටියේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට සමගාමීව ප්‍රථම අදියර යටතේ වරායේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජැටියට මායිම් වන රජය සතු ඉඩම් වලින් අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට ද තීරණය කර ඇත. මෙම සංවර්ධන වැඩපිලිවෙල යටතේ නවීන මගී පර්යන්තයක්, ගබඩා සංකිර්ණයක්, ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇති අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ (PPP) දෙස් විදෙස් ආයෝජකයින්ගේ අභිලාෂ කැඳවීමට තීරණය කර ඇඅතීතයේ තලෙයි මන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා මගී යාත්‍රා සේවාවක් පැවති අතර තමිල්නාඩු ප්‍රාන්තයට බල පෑ විශාල සුලි සුලං තත්වයක්  හේතුවෙන්  ධනුෂ්කොඩි වරාය විනාශ විය.

එහෙයින් ඉන්දියානු රජය විසින් රාමේෂ්වරම් වරාය පූර්ණ සංවර්ධනයකට ලක් කොට ඇති අතර ඉදිරියේදී තලෙයි මන්නාරම සහ රාමේෂ්වරම් අතර මඟී යාත්‍රා සේවාව සඳහා අවශ්‍ය අනුමැතිය ඉන්දියානු රජය විසින් ලබා දී ඇති බවද මෙහිදී හෙලි විය. මෙම සංවර්ධන කටයුතු සැලසුම් කිරීම සඳහා වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගෝස්තු 04 වන දින නීරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ඉන් අනතුරුව අදාල ගැටළු නිරාකරණය කිරීම පිලිබඳව විශේෂ සාකච්චාවකටද සහභාගි විය.ඉන් අනතුරුව කරුණු දක්වමින් අමාත්‍යවරයා  කියා සිටියේ : මෙම තලෙයි මන්නාරම වරාය සංවර්ධනය කිරීම තුලින් අතීතයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති සහ සම්බන්ධතාවය නැවත ඇති කිරීමට හැකි වන බවයි.

විශේෂයෙන් මෙම මගී යාත්‍රා සේවාවන් ආරම්භ කිරීම තුලින් ඉන්දියාවේ දඔදිව වන්දනා කිරීම සඳහා යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකීය වන්දනා කරුවන් සඳහා අඩු ගාස්තුවකින් එම සංචාරක කටයුතු ඉටු කර ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය. එමෙන්ම දෙරට අතර වෙළඳ භාණ්ඩ හුවමාරුව සඳහා විශාල පහසුකමක් ඇති වන බව පැවසු අමාත්‍යවරයා උතුරේ ජනතාවගේ නිෂ්පාදන ඉන්දියාවේ ප්‍රචලිත කිරීමට මහඟු අවස්ථාවන් උදා වන බවද පැවසීය. මෙම අවස්ථාවට වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගියවත්ත, යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද, නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.