ලාභ ඉපයීම සඳහා හම්බන්තොට වරායට වැඩසටහන් රාශියක් හඳුන්වා දීමට පියවර ....

ලාභ ඉපයීම සඳහා හම්බන්තොට වරායට වැඩසටහන් රාශියක් හඳුන්වා දීමට පියවර ....

හම්බන්තොට වරායේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 15% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවන බවත්, මෙතෙක් හම්බන්තොට වරායේ ලාභ ඉපයීමක් සිදුව නොමැති බැවින් කිසිදු ලාභාංශයක් රජයට ලැබී නොමැති බව හෙලිවී ඇත .කොවිඩ් අර්බුදය සහ ශ්‍රී ලංකාවේ මෑතකදී ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් හම්බන්තොට වරායේ ආදායම් වැඩි කිරීමටත් ලාභ ඉපදවීමටත් නොහැකි වී ඇත.එබැවින් ආදායම් උපදවන වැඩසටහන් කීපයක් ආරම්භ කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානය යොමු වී ඇති අතර එම සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින (11) අමාත්‍යාංශයේ දී පැවැත්විණි .

හම්බන්තොට වරායේ නව සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය සමඟ පවතින ගැටලු කීපයක් නිරාකරණය කර ගත යුතුව ඇති බව මෙම සාකච්ඡාවේදී හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පෙන්වා දුන් අතර එකී ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමට වරාය අමාත්‍යාංශය මැදිහත්වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.මෙතෙක් ප්‍රධාන වශයෙන් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලෙස සිදු කරනු ලැබුවේ ආනයනය කල වාහන වරායේ ගාල් කර ප්‍රති අපනයනය කිරීම බවත් , ඉදිරියේදී බහාලු (Containers ) ප්‍රති අපනයන කිරීම ආරම්භ කලහොත් වරායට  ලාභ ඉපයීමට  හැකියාව ඇති වන බවට අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පල කලේය.

එහෙයින් හම්බන්තොට ලාභදායි වරායක් බවට පත්කිරීම සඳහා පාලන අධිකාරිය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ අනාගත වැඩපිළිවෙළ  අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කොට අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසත් අවශ්‍ය වුවහොත්  ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.විශේෂයෙන් ඉන්දියානු සාගරයේ යාත්‍රා කරනු ලබන නෞකාවන් වඩ වඩාත් හම්බන්තොට සහ  කොළඹ වරායන් වෙත ආකර්ශනය කරගැනීමට සක්‍රීය වැඩ පිලිවෙලක් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් , හම්බන්තොට වරයත් එක්ව සැක සිය යුතු බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාව අවසානයේ දී පැවසීය .මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී .එස්. රුවන්චන්ද්‍ර , වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් , උප සභාපති ගයාන් අලගේවත්ත, හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිලධාරී රවින්ද්‍ර ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.