1984 වරායේ විමසුම් මධ්‍යස්ථානය ජනතාවට විවෘත වේ.

1984 වරායේ විමසුම් මධ්‍යස්ථානය ජනතාවට විවෘත වේ.

ගෝලීය කේන්ද්‍රීය වරායක් ලෙසත්, ජාත්‍යන්තර වෙලඳ හා නාවික මධ්‍යස්ථානයක් ලෙසත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාවලියක කොලඹ වරාය නිරත වේ. එසේ හෙයින් වරාය හා සම්බන්ධ වන දේශීය හා විදේශීය ගණුදෙනුකරුවන්ට වඩාත් පහසු වන අයුරින් වරාය සේවාවන් පිලිබඳව තොරතුරු ලබාදීමටත් වරායේ ක්‍රියාදාමයන් පිලිබඳව ජනතාව දැනුවත් කිරීමත් අරමුණු කර ගනිමින් වරාය විමසුම් මධ්‍යස්ථානය 2023.09.11 ( අද ) දින පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් විවෘත කරන ලදී.

ඒ අනුව අද සිට සතියේ සෑම දිනකම පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා 1984 දරණ  දුරකථනය ඔස්සේ තමන්ට වරායේ සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

විශේෂයෙන් ආනයන, අපනයනකරුවන් සහ නැව් භාණ්ඩ ඒජන්තවරුන් සඳහා මෙම දුරකථන සේවාව විශාල පහසුවක් වන අතර, වෙලඳ නාවික හා වරාය ක්ෂේත්‍රය පිලිබඳව උනන්දුවක් දක්වන සහ තොරතුරු අවශ්‍ය ඕනෑම අයෙකුට මෙම 1984 දුරකථන සේවාව පරිහරණය කල හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

එමෙන්ම ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය වේ නම් කොලඹ 01, ලෝටස් පාරේ නො : 15, කැනල් අංගනයේ පිහිටි වරාය විමසුම් මධ්‍යස්ථානයට පැමිණ ලබා ගත හැකි වන අතර enquiries@slpa.lk යන විද්‍යුත්  තෑපැලට යොමු කිරීමෙන්ද ලබා ගත හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි.

මෙම විමසුම් මධ්‍යස්ථානයේ දුරකථන සේවාව ආරම්භ කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ප්‍රථම ඇමතුම ලබා ගත් අතර අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ : මෙම සේවාව ආරම්භ කිරීම තුලින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන් කාර්යක්ෂම කිරීමට හැකි වන බවත්,  කිසිම පාරිභෝගිකයෙකුට හෝ සේවා ලාභීයෙකුට නිලධාරීන් මුහුණට මුහුණ හමු වී සාකච්චා කිරීමට අවශ්‍ය නොවන අතර ඒ තුලින් සිදු වන අක්‍රමකිතා අවම කිරීමට හැකියාව ලැබෙන  බවයි. මෙම දුරකථන සේවාව ජාත්‍යන්තර වරායන් හා සමඟද ජාල ගත වන බැවින් ඉතා කඩිනමින් වෙලඳ නාවික හා වරාය ක්ෂේත්‍රයේ නවතම තොරතුරු ලබා ගැනීමටද අවස්ථාව උදා වන බවද  අමාත්‍යවරයා අවධාරණය කලේය.  මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, කලමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් මලවිගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.