මාස 5ක් ඇතුලත පලාලි ගුවන්තොටුපොලේ මඟී පර්යන්තය පුළුල් කර මගීන්ට පහසුකම් සපයනවා

              මාස 5ක් ඇතුලත පලාලි ගුවන්තොටුපොලේ මඟී පර්යන්තය  පුළුල් කර මගීන්ට පහසුකම්  සපයනවා

             - වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය-

පලාලි ගුවන්තොටුපලේ දැනට තිබෙන මගී පර්යන්තයේ ඉඩකඩ මදි බැවින්, ගුවන් මෙහෙයුම් කටයුතු වලදී මගී තදබදයක් පර්යන්තය තුල ඇති වන බව, පැවසු වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරි මාස 05 වැනි කාලයක් තුල පර්යන්තය පුළුල් කර මගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව පැවසීය. අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කලේ පසුගිය 17 දින පලාලි ගුවන් තොටුපලේ සිදු කල යුතු ඉදිරි සංවර්ධන කටයුතු පිලිබඳව සොයා බැලීමට පලාලි ගුවන්තොටුපලට ගිය නිරීක්ෂණ චාරිකාවකදීය.

දැනට ඉන්දියාවේ චෙන්නායි සිට සතියකට වාර 04 “එලායන්ස් එයාර්” ගුවන්යානය පලාලි දක්වා පැමි‍ණෙන බව පැවසු අමාත්‍යවරයා මෙම ගුවන්යානා වලින් රැගෙන යා හැකි වනුයේ මගීන් 75 කට අඩු සංඛ්‍යාවක් බවයි. A320 ගුවන්යානා මෙම ධාවන පථයේ තත්වය සහ දිග අනුව ගොඩ බැස්සවිය නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.

A 320 ගුවන්යානය ගොඩ බැස්සවීමට දැනට තිබෙන මීටර් 2300 ධාවන පථය මීටර් 900 ක් අළුත්වැඩියා කිරීමත්, මීටර් 300ක් දීර්ඝ කිරීමත්, ඉදිරියේදී සිදු කරන බව පැවසු අමාත්‍යවරයා ඒ සඳහා ජනතාවට අපහසුවක් නොවන පරිදි යම් ඉඩම් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට සිදුවන  බව පැවසීය.පලාලි ගුවන්තොටුපලේ මෙම සංවර්ධන කටයුතු නිම කිරීමෙන් පසු ඉන්දියානු ගුවන් සේවාවන්ට පමණක් සීමා නොවී ඉන්දුනීසීයානු, මැලේසියානු, මාලදිවයින වැනි රටවල් සමඟ ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට සාකච්චා කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මගී පර්යන්ත පුළුල් කිරීම සහ පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 160 ක මුදලක් ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමෙන් ලබා දීමට තමා අනුමැතිය ලබා දුන් බවද අමාත්‍යවරයා අවධාරණය කලේය.එදින දහවල් 11.55 ට ඉන්දියාව් චෙන්නායි සිට “එලායන්ස් එයාර්” ගුවන්යානයෙන් පැමිණි මගීන්ට, පලාලි ගුවන් තොටුපලේ දැනට පවතින පහසුකම් පිලිබඳව අමාත්‍යවරයා  නීරීක්ෂණය කරන ලදී.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, යාපනය දිස්තත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, අමාත්‍යංශ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර, ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ  සභාපති  විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ද සහභාගි විය.