නාගපට්නම් - කන්කසන්තුරේ ෆෙරි ⁣සේවාව අත්හදා බැලීමේ චාරිකාවක්

නාගපට්නම් - කන්කසන්තුරේ  ෆෙරි සේවාව අත්හදා බැලීම් චාරිකාවක්   

විවිධ හේතුන් මත මාස හයකට පමණ ආසන්න කාලයක් ප්‍රමාද වූ ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව 2023.10.10 දින සිට ක්‍රියාත්මක වන බවත් , අත්හදා බැලීම් චාරිකාවක් 2023.10.08 දින සිදුකල බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි .

ඒ අනුව "චෙරියපානි" නම් මගී යාත්‍රාව 2023.10.10  දින දහවල් 12.30 ට නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ වරායට සේන්දු වීමට නියමිතය.ප්‍රථම මංගල චාරිකාවට මගීන් 50 කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන බවත් යාත්‍රාව එදිනම පස්වරු 4.00ට නාගපට්නම් බලා යාත්‍රා කිරීමටත් නියමිතය.ඉන්දියානු නැව් සංස්ථාවට (S.C.I) අයත් දිගින් මීටර් 35ක් සහ පලලින් මීටර් 9.6 වූ අධිවේගී "චෙරියපානි" යාත්‍රාවෙන් මගින් 150 ක් රැගෙන යාමට හැකියාව ඇත.

නාගපට්නම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය හතරක් පමණ කාලයක් ගතවන අතර එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750 ක්ද, යන එන ගමන් වාර දෙකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 53,500 ක්ද අයකරනු ලබයි. එ වෙනුවෙන් එක් මගියකු හට කිලෝ 50 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බව මගී යාත්‍රා සේවා හිමියන් ප්‍රකාශ කරයි.

මෙම යාත්‍රා සේවාවේ මෙහෙයුම් සහ අලෙවි කටයුතු ශ්‍රී ලංකාවේ සමාගමක් වන "ආශා නියෝජිත පුද්ගලික සමාගම" (Asha Agency Ltd ) විසින් සිදුකරනු ලබන අතර යාපනය නගරයේද ගමන් ප්‍රවේශපත් අලෙවි නියෝජිතයකු ද පත්කර ඇති බව සමාගම පවසයි.

මෙම යාත්‍රා සේවා මෙහෙයුම් කටයුතු සඳහා  ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 450 ක වියදමකින් නවීන පහසුකම් වලින් සමන්විත මගී පර්යන්තයක් ඉදිකර ඇති බව අමාත්‍යවරයා පවසයි.මෙම පර්යන්තය තුල ආගමන විගමන රේගු ,සෞඛ්‍ය සේවා ඇතුළු සියලු යටිතල පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.

ඉන්දීය වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අතර දීර්ඝ වශයෙන් කරන ලද සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. අත්හදා බැලීම් චාරිකාවට පැමිණි "චෙරියපාණී" යාත්‍රාව අදාළ පාර්ශවයන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදී.