2024 වසරේදී වරාය බටහිර පර්යන්තය පළවන අදියරය නිම කරනවා ආයෝජකයන් අමාත්‍යවරයාට පවසයි

2021 වසරේ සැප්තැම්බර් 23 දින ගිවිසුම්ගත කොළඹ වරාය බටහිර පර්යන්තයේ පළවන අදියරේ ඉදිකිරීම් කටයුතු නිම කොට 2024 වසරේ දී මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එම ව්‍යාපෘතියේ ආයෝජකයින් වන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පෞද්ගලික සමාගම පවසයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් පිළිබඳව දැනට පවතින ප්‍රගතිය දැනුවත් කිරීම සඳහා  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පසුගිය දින පැවති සාකච්ඡාවක දී ආයෝජක සමාගම මෙම කරුණු හෙළි කරන ලදී.

 

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ පලවන අදියරේ ඉදිකිරීම් යටතේ,

  1. මීටර් 800 ක් දිග සහ මීටර් 20 ක් ගැඹුරින් යුතු නැංගුරම් පොලක් (ජැටියක්) ඉදිකිරීම
  2. බහලුම් ලක්ෂ 16 ක් පමණ මෙහෙයවිය හැකි පර්යන්තයක් ඉදිකිරීම
  3. අර්ධ ස්වයංක්‍රීය දොඹකර 08 ක් සවිකොට බහාලුම් 2400 පමණ රැගෙන යා හැකි ලොව විශාලතම නෞකා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකිවීම
  4. ප්‍රධාන පාලක මැදිරියක සිට දොඹකර දුරස්ථ පාලක ක්‍රමයට මෙහෙයුම් කිරීමට හැකිවීම
  5. OCR තාක්ෂණය ඔස්සේ බහලුම් මෙහෙයුම් කටයුතු පරිගණකගත කිරීමට හැකිවීම.

යන ප්‍රධානකාර්යයන් සිදුකරනු ලබයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය 2025 වසර අවසන් වනවිට සම්පූර්ණයෙන් නිමකොට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ආයෝජක සමාගම මෙම සාකච්ඡාවේදී පැවසීය.සමස්ත ව්‍යාපෘතියේ පිරිවැය ඩොලර් මිලියන 700ක් පමණ වේ.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ආයෝජක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හරී ක්‍රීෂ්ණන් සුන්දරම්, උපදේශක ආනන්ද එස් ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.