සංචාරකයින් 412 දෙනෙකු රැගත් “රෙඩ් වින්ග්” රුසියානු ගුවන් යානය මත්තලට

සංචාරක මගීන් 412 දෙනෙකු රැගත් බෝයිං 777 වර්ගයට අයත් “රෙඩ් වින්ග්”  ( Red Wing ) රුසියානු ගුවන් යානය අද පෙරවරු 9.00 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබාන ලදි.
මොස්කව් නුවර සිට පැමිණි   මෙම ගුවන් යානය රුසියාවේ අවුරුදු 23 ක් පැරණි ගුවන් සමාගමක් වන “ Red Wing ” සමාගමට අයත් යානයකි.

මෙම ගුවන් යානය අද සිට සතියට ගුවන් ගමන් දෙකක් මොස්කව් සහ මත්තල අතර පියාසර කිරිමට නියමිතව ඇති බව ගුවන්තොටුපල කළමණාකරු පැවසීය.

මත්තල ගුවන්තොටුපල පැමිණි මෙම ගුවන්යානයට ධාවන පතයේදි ගිනි නිවන රථ දෙකක් මගින් සම්ප්‍රදානුකූලව ජල ආචාර ( water salute ) ලබා දෙමින් පිළිගත්තේය.

ශ්‍රි ලංකාවට පළමු වරට පැමිණෙන මෙම “රෙඩ් වින්ග්”   ගුවන් යානය සහ එම සංචාරක මගීන් පිළිගැනිම සදහා වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මත්තල ගුවන්තොටුපල වෙත පැමිණ සිටියේය. 

මෙම අවස්ථාවට ගුවන්තොටුපල සමාගමේ සභාපති ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා ඇතුළු ගුවන්තොටුපල නිළධාරින් පිරිසක් සහභාගිවුහ.

මෙහිදි අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියාසිටියේ පිහිටීම අනුව මත්තල ගුවන්තොටුපල සංචාරකයින්ගේ ගමනාන්තයක පිහිටා තිබීම නිසා මෙරට සිටින සංචාරක ඒජන්තවරුන්ගෙන් ඉල්ලා සිටිනවා  මෙම ගුවන්තොටුපල දක්වා විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමට වැඩපිලිවෙලක් සකසන ලෙස.