කටුනායක ගුවන් මගී තදබදය අවම කිරීමට පෙර සවි පර්යන්තයක් ඉදි කිරීමට තීරණය කරයි.

කටුනායක ගුවන් මගී තදබදය අවම කිරීමට පෙර සවි පර්යන්තයක්  ඉදි කිරීමට තීරණය කරයි.

මේ දිනවල 25000 කට ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපලෙන් පැමිණ සහ පිටව ගොස් ඇති බැවින් විශාල මගී තදබදයක්  ඇති බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි. මෙයට විසදුමක් ලෙස ඉදිවෙන දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් මේ වන විට සිදු වන අතර එතෙක් විසදුමක් ලෙස පෙර සවි පර්යන්තයක් ඉදිකිරීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම තීරණය කර ඇත.මෙම ඉදිකිරීම් සඳහා සැලසුම් සකසා ඇති අතර මාස 06ක් වැනි කෙටි කාලයක් තුල ඉදිකිරීම් නිම කිරීමට හැකි බව  ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි.

මේ සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් රුපියල් බිලියන 15ක පමණ මුදලක් වැය කිරීමට නියමිත අතර, ස්ථිර දෙවැනි පර්යන්තයේ  ඉදිකිරීම් නිමවීමෙන් පසුව,  මෙම පෙර  සවි පර්යන්තය ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් සිදු කරනු ලබන  අභ්‍යන්තර ගුවන්සේවා සඳහා යොදා ගැනිමට තීරණය කර ඇති බව ගුවන්තොටුපල සමාගම අවධාරණය කරයි.

මෙම ඉදිකිරීම් ස්ථානය පරීක්ෂා කිරීමට සහ සැලසුම් කටයුතු සොයා බැලීම සඳහා වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගෝස්තු 23 දින පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණි අතර මෙම අවස්ථාවට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ නිලධාරීන්  පිරිසක්ද සහභාගි විය.

මෙදින ගුවන්තොටුපල පරිශ්‍රයේ  පැවති විශේෂ උත්සවයකට සහභාගී වු අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේ : ලැබෙන තොරතුරු අනුව ඉදිරියේදී විශාල මගීන් සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපලට පැමිණීමට නියමිත බවයි. එම වැඩිවෙන මගීන්ගේ පහසුකම් සැපයීම සඳහා අපට තිබෙන සම්පත් උපයෝගී කර ගනිමින් ප්‍රායෝගික සැලසුම් කීපයක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. විශේෂයෙන්  යාපනයේ පලාලි ගුවන්තොටුපලට සහ මත්තල ගුවන්තොටුපලට වැඩි ගුවන්යානා සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලබන අතර කටුනායකට පැමි‍ණෙන මගීන්ගේ සුවපහසුව සහ තදබදය අවම කිරීම සඳහා පෙර සවි පර්යන්තයක් මාස 06ක් වැනි කෙටි කාලයක් තුල ඉදි කිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කලේය. මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමෙන් වැය කිරීමට තීරණය කර ඇති බවද, අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.