ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරිය 78 වන ජාත්‍යන්තර ගුවන්සේවා දිනය සමරයි.

78 වන ජාත්‍යන්තර ගුවන්සේවා දිනය සහ ශ්‍රී ලංකාවේ ගුවන් කර්මාන්තය ආරම්භ වී වසර 110 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් සැමරුම් උත්සවයක් දෙසැම්බර් මස 09 දින කටුනායක පිහිටි ගුවන්සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි .

මෙවර ජාත්‍යන්තර ගුවන්සේවා දිනයේ තේමාව වී ඇත්තේ "ගෝලීය ගුවන්සේවා සංවර්ධනය උදෙසා නවෝත්පාදනයන් ඔස්සේ  ඉදිරියට" යනුවෙනි. (Advancing Innovation for Global Aviation Development ).

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර , සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, අධ්‍යක්‍ෂ ජනරාල් පී.ඒ ජයකාන්ත යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

මෙම උත්සව අවස්ථාවේදී ගුවන් නියමුවන් සඳහා මෙතෙක් නිකුත් කල ගුවන් නියමු බලපත්‍රය වෙනුවට ඩිජිටල් ස්මාර්ට් කාඩ් බලපත්‍රය නිකුත් කිරීම, ගුවන්සේවා ක්ෂේත්‍රය සම්බන්ධ දීප ව්‍යාප්ත නව නිපයුම් තරඟාවලියක් ආරම්භ කිරීම සහ නිගම්බු එරෝමොඩල ආයතනය විසින් නිෂ්පාදිත මානව බලයෙන් ක්‍රියාත්මක ගුවන් යානය පිළිබඳව හඳුන්වා දීමද සිදුකරන ලදී.