සංචාරකයින්⁣ගෙ වීසා බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට ගුවන්තොටුපල වල අතිරේක කවුලු විවෘත කරයි...

 සංචාරකයින්ගෙ වීසා බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට ගුවන්තොටුපල වල අතිරේක කවුලු විවෘත කරයි...

මෙරට සංචාරක සමය ආරම්භ වීමත් සමග පැමිණෙන සංචාරකයින්⁣ගෙ පැමිණීම වැඩිවීම හේතුවෙන් වීසා බලපත්‍ර කඩිනමින්  නිකුත් කිරීම සඳහා ගුවන්තොටුපල වල  අතිරේක කවුලු විවෘත කිරීමට පියවර ගන්නා ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක හා මත්තල ගුවන් තොටුපොළ නිලධාරීන්ට නියෝග ලබා දී ඇත. විශේෂයෙන් දැනට මත්තල ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයින් හට ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී වීසා බලපත්‍ර ලබා ගැනීමට පැය හතරකට වැඩි කාලයක් ගුවන් තොටුපලේ රැඳී සිටීමට සිදුවන බව අනාවරණය වී ඇත.

සංචාරක ප්‍රවර්ධනය සඳහා  පවතින ගැටලු සහ ඒවා නිරාකරණය කර ගැනීම සඳහා ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡාවකදී මෙම කරුණු හෙලිවිය.මෙම අතිරේක කවුලු විවෘත කිරීමේදී ඒවායේ සේවයේ නියුතු ආගමන විගමන නිලධාරීන්ට සහය වීම සඳහා අතිරේක කාර්ය මණ්ඩල වහාම ලබාදීමට කටයුතු කරන ලෙසට ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට  අමාත්‍යවරයා  උපදෙස් දෙන ලදී .එමෙන්ම බල්ගේරියානු හා ඊශ්‍රායලය ගුවන් සේවාවන් ඇතුළු නව ගුවන් සේවාවන් රැසක්  ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පල කර ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට නොපමාව කටයුතු කරන ලෙසටත් ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකා වහාම සකසා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටත්  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් වරයාට සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් වරයාට උපදෙස් ලබාදෙන ලදී .පසුගිය 31 වන දින වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු ,සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය .