2050 දක්වා ඇති වරාය ජාතික සැලැස්මට ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය එක්ව නිර්මාණය කරන ලද සුවිශේෂි පුවත් වෙබ් අඩවිය news.slpa.lk එළිදැක්වීම සහ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් වරාය සහ නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ සුරතින් අද දින (21) එම අමාත්‍යංශ ශ්‍ර‍ණාගාරයේදී සිදු කෙරිණි. එහිදී අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ “ආසියානු සංවර්ධන බැංකුව විසින් වරාය අධිකාරියේ 2050 දක්වා සකස් කර ඇති ජාතික සැලැස්ම පිළිබඳ මූලික අධ්‍යනය කිරීමෙන් පසුව කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා උදවු කිරීමට පැතිකඩ කිහිපයක් ඔස්සේ සහයෝගය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව දැක්වීය.

මෙම අවස්ථාවට වරාය සහ නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ගරු ලේකම් පරාක්‍ර‍ම දිසානායක මැතිතුමා ඇතුළු වරාය අධිකාරියේ සහ අමාත්‍යංශයේ විධායක නිලධාරීන් සහභාගී විය.

මෙහිදී අමාත්‍යවරයා වරායන් සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් “බහළු මෙහෙයුම් වැඩි කරමින් කොළඹ වරාය වර්ධනය කිරීමට කොළඹ දකුණු වරායේ සංවර්ධන කටයුතු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරමින් පවතින බව දැක්වීය. නැගෙනහිර පර්යන්තය ඉදිරියේදී සංවර්ධනය කිරීමේදී දැනට එක නෞකාවක් පමණක් පැමිණීමට හැකි අතර එය දිගු කරමින් එකවර නෞකා තුනක් පැමිණිය හැකි ආකාරයට දීර්ඝ කරන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ “කොළඹ බටහිර පර්යන්තය දියුණු කරමින් LNG (Liquid Natural Gas) පර්යන්තයක් ඇති කිරීමට අවශ්‍ය තොරතුරු සොයා බලනවා. ඔළුවිල් වරාය වාණිජ වරායක් ලෙස දියුණු කිරීමට නොහැකි බවත් එය වඩාත් සුදුසු ධීවර වරායක් ලෙස දියුණු කිරීම බවද ආර්ථික අමාත්‍යාංශය සමග එක්ව එම වරාය ආශ්‍රිතව ආර්ථික කලාපයක් බිහි කිරීමට සැලසුම් සකස් කරගෙන යනවා.

කන්කසන්තුර වරාය ගැන කතා කිරීමේදී වරායේ නැව් තටාකාංග සංවර්ධනයට ඉන්දියාවෙන් ණය ආධාර ඩොලර් මිලියන 44ක් ලබා දී තියෙනවා. එහිදී එක් පර්යන්තයක් වරාය අධිකාරියට සහ නාවික හමුදාවට එක් පර්යන්තයක් ලබා දීමට කටයුතු සලසා තිබෙනවා. ත්‍රීකුණාමල වරායේ රාත්‍රී මෙහෙයුම් කිරීම සඳහා ජපානය යෙන් මිලිනය 1ක් (රුපියල් බිලියන 1.5 පමණ)  ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. දැනට එම වරායේ මෙහෙයුම් සිදු කරන්නේ දහවල් කාලයේ පමණයි. එසේම ගාල්ල වරායේ ද රාත්‍රී මෙහෙයුම් කටයුතු කිරීමට කටයුතු සැලසුම් කරමින් පවතිනවා.

නාවික ක්ෂේත්‍රයේ නීති ලිහිල් කිරීම පිළිබඳව අවධානය යොමු කරන අතර එහිදී ජාතික ආරක්ෂාව, වරායේ ආරක්ෂාව, සේවකයන්ගේ ආරක්ෂාව ආදිය පිලිබඳව ඉතා තදින් අවධානය යොමු කරනවා යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ “කොළඹ වරාය ගිය වසර තුල ප්‍ර‍තිඅපනයනය 19.3%කින් වර්ධනය වූ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු JCT පර්යන්තය ලබා ගෙන ඇති වර්ධනය 20.3%කි. පසුගිය වසර තුල ලොව සීඝ්‍රයෙන් වර්ධනය වන වරායන් අතර ප්‍ර‍මුඛස්ථානය හිමිකර ගෙන ඇති බව ද දෙවන ස්ථානය සිංගප්පූරුව හිමි කර ගෙන ඇති බව ද දැක්වීය.

වෙබ් අඩවිය නිර්මාණය කිරීම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාශය මගින් සිදු කර ඇත.

ප‍්‍රවෘත්තියක වටිනාකම දැන හැඳිනගනිමින්, නිවැරදි වූත්, විශ්වාසනීය වූත් ක‍්‍රමවේදයක් ඔස්සේ වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ ප‍්‍රවෘත්ති, විශේෂාංග සහ වරාය ආශ‍්‍රිත ලිපි සම්පාදනයෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමේ පරමාර්ථ පෙරදැරිව මෙම පුවත් වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.  රජය විසින් දියත් කර ඇති සියළුම වරාය ව්‍යාපෘති, නව සංවර්ධන කටයුතු, ජගත් නාවික හා සමුද්‍රීය දර්ශක වල  කොළඹ වරාය හා අනෙකුත් වරායයන් ස්ථානගත කිරීම හා කොළඹ වරාය ලැබූ ගෝලීය ජයග‍්‍රහණ සම්බන්ධ සංවර්ධන ප‍්‍රවෘත්ති රට තුළ, හා ඉන් පිටත සිටින වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හට අවශ්‍ය දැනුම තොරතුරු ලබා ගැනීම පහසු  කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම news.slpa.lk  හි මුඛ්‍ය අරමුණ වේ.

වරාය හා නාවික ක්ෂේත්‍රයේ මෙන් ම සමුද්‍රීය ක්ෂේත්‍රයේ නව දැනුම මෙන් ම වරාය ආශ‍්‍රිත සංවර්ධනාත්මක පුවත්, තොරතුරු හුවමාරු කර ගැනිමේ, දැනුම කළමණාකරණය කිරීමේ අවශ්‍යතාවයන්හි උත්පේ‍්‍රරකයක් ලෙස කටයුතු කිරීමට news.slpa.lk  වෙබ් අඩවිය සමත් වනු ඇත.