ලොව දෙවැනි විශාලතම සංචාරක මගී නෞකාව කොළඹ වරායට.

කොළඹ වරාය දැඩි කාර්ය බහුල ස්ථානයක් බවට අද (01) පත්විය. ඒ විශාල සංචාරක මගී නෞකාවක් කොළඹ වරායේ  නැගෙනහිර පර්යන්තයට ළඟාවීමෙනි. නෞකාවෙන් මෙරටට සංචාරකයින් 2000 ක් පැමිණි අතර මෙරටින් සංචාරකයින් 1500 ක් නෞකාවට ගොඩවිය. මේ හේතුවෙන් කොළඹ වරායේ දැඩි වාහන තදබදයක් ද දක්නට ලැබිණි.

Genting Dream නම් වූ මේ නැව ලොව දෙවැනි විශාලතම නෞකාවයි. නෞකාව මෙසේ කොළඹ වරාය වෙත සමීප වූයේ සිය පළමු අසියාතික සංචාරය සනිටුහන් කරමින් මුම්බායේ සිට සිංගප්පූරුව බලා යන ගමනේදීය.

Genting Dream නෞකාව Meyer Werft ජර්මානු නැව් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර පසුව එය Dream Cruises සමාගම වෙත භාර දෙන ලදි. නෞකාව සිය මංගල සංචාරය අරඹන ලද්දේ 2016 අගෝස්තු මස 19 වැනිදාය. මෙහි ඇතුළත අවන්හල් විශාල ප්‍රමාණයකින්, විශේෂ කුටිවලින් සහ කැසිනෝ ක්‍රීඩාගාරයකින් ද සමන්විත වේ. මෙහි දිග මීටර 335 ක් වන අතර පළල මීටර 40 කි. පැයට නාවික සැතපුම් 23 ක උපරිම වේගයෙන් ගමන් කරන මෙම නෞකාව අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා ගණයට අයත් වන්නකි. මෙහි කාර්ය මණ්ඩලය 1999 කි. මගීන් 3352 ක ප්‍රමාණයක් සඳහා පහසුකම් ඇති මෙම නෞකාව පළමුවෙන්ම Genting World  ලෙස නම් කිරීමට නියමිතව තිබූ අතර පසුව සමාගම විසින් Genting Dream ලෙස නම් තබන ලදි. මෙම Genting Dream නෞඛාවේ සහෝදර නෞකාවක් World Dream නමින් 2017 වසරේදී සිය සංචාරයන් ඇරඹීමට ද නියමිතව තිබේ.

සිය පළමු අසියාතික සංචාරය සනිටුහන් කරමින් මුම්බායේ සිට සිංගප්පූරුව බලා යන මෙම සංචාරයට මුම්බායේ සිට කොළඹ වරාය දක්වා මගීන් 2000 ක ප්‍රමාණයක් එක් වූ අතර එයින් 1500 ක් නැවත සිංගප්පූරුව බලා පිටත් වේ. මේ අතර ශ්‍රී ලාංකිකයින්ද වීම විශේෂත්වයකි. නෞඛාවේ මගීන් අතර විවිධ රටවල් නියෝජනය වන පරිදි මගීන් ගමන් කරයි.  Genting Dream  නෞකාව සිය සංචාරය නිම කරමින් නැවත හොංකොං බලා පිටත් වන අතර එහිදී නෞඛාවේ ස්ථිර නැවතුම්පළ වන Guangzhou  වරායෙහි නැංගුරම්ලනු ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයෙහිලා මෙවැනි නෞකාවන්ගේ පැමිණීම යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව බොහෝ නාවික කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසයි.