මාසයකට රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ගන්න කැමතිද? ලොව පිළිගත් වෙළඳ නැවියකු වෙන්න_අජිත් සෙනවිරත්න - අධ්‍යක්ෂ ජනරාල් - වෙළඳ නාවික ලේකම් කාර්යාලය.

ආරක්ෂිත මූලිකාංග සහිත පරිගණක ගත ක්‍රමවේදයක් ඔස්සේ අඛණ්ඩ මුදාහැරීමේ සහතික පත් හා ප්‍රවීණතා සහතික පත්‍ නිකුත් කිරීමට වෙළඳ නාවික ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත. මේ සඳහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති  ප්‍රතිපාදන යටතේ 2017 වර්ෂයේ සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.‍ ඒ අනුව, වෙළඳ නාවිකයින් සඳහා පළමු සහතික පත්‍රය නිකුත් කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ‍සුරතින් ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය නිමිති කරගනිමින් සිදුකෙරිණි. 2017 ජනවාරි 17 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා, වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතා, වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා ඇතුළු වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ. වෙළඳ නාවිකයින් සහ එම කෙෂ්ත්‍ර‍ය පිළිබඳව වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

වෙළඳ නාවික රැකියාව මේ වන විට ඉහළ වැටුප් කාණ්ඩයට අයත් රැකියා ලෙස ලොව අවධානයට යොමු වී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව යොමු කිරීමේ සහ සූදානම් කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයට. මේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය කියන්නේ කුමක්ද ?

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වෙළඳ නාවික කටයුතු නියාමනය කිරීම සහ එයට අදාල නීති සම්පාදනය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ සමස්ත කාර්යභාරය පැවරෙන්නේ අපේ ආයතනයට. එනම් ‍වෙළඳ නාවික ලේකම් කාර්යාලයට. වරාය හා නාවික අමාත්‍යංශය යටතේ අපේ ආයතනය ක්‍රියාත්මක වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ (IMO) ශ්‍රී ලාංකික කේන්ද්‍රස්ථානය වශයෙන් කටයුතු කරන්නේ අපේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය වීම විශේෂත්වයක්. 1971 අංක 52 දරණ වෙළඳ නැව් පණත, 1972 අංක 10 දරණ නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර ලබාදීමේ පණත සහ 1983 අංක 40 දරණ අධිකරණ බලසීමා පණත යටතේ මාර්ෂල්වරයාගේ රාජකාරී කටයුතු ක්‍රියාත්මක කිරීම අප ආයතනයට පැවැරෙන වගකීම් වනවා.

දැන් වෙළඳ නාවිකයින් කියන්නේ කවුරුන්ද ? ඔවුන් ගැන දළ විස්තරයක් කරන්න පුළුවන්ද ?

නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා ගිවිසුමක් යටතේ වෙළඳ නැව්වල රැකියාවල යෙදෙන පිරිස් වෙළඳ නාවිකයින් ලෙස හඳුන්වනවා. වයස අවුරුදු 18 සහ අදාළ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ වූ ඕනෑම කෙනෙකුට වෙළඳ නාවිකයෙක් විය හැකියි. ලෝකයේ වෙළඳ නෞකාවල නිලධාරී හා නිලධාරී නොවන මට්ටම්වලින් රැකියා අවස්ථා විශාල ප්‍ර‍මාණයක් තියෙනවා. එහිදී නිලධාරී නොවන මට්ටම්වල රැකියා සඳහා යොමුවන වෙළඳ නාවිකයන්ට ඔවුන්ගේ පළපුරුද්ද හා වෘත්තීය දැනුම යාවත්කාලීන කර ගනිමින් නැව් තට්ටු අංශයේ හෝ ඉංජිනේරු අංශයේ ඉහළම නිලධාරී මට්ටම් දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අදාළ අධ්‍යාපන සුදුසුකම් යටතේ ඕනෑම වෙළඳ නාවිකයකුට නාවික කපිතාන් හා ප්‍රධාන නාවික ඉංජිනේරු දක්වා තම වෘත්තීය මාර්ගය සකස් කර ගත හැකියි.                                                                                     

රැකියාවකට යොමු වීමේදී බොහෝ දෙනෙක් විමසා බලන්නේ තමන්ට ලැබෙන වැටුප. ඒ අනුව වෙළ නාවිකයකුට සතුටු විය හැකි මාසික වැටුපක් ලබා ගත හැකිද ?

ඔව්. ඇත්ත වශයෙන්ම. නිලධාරී නොවන පහළ මට්ටමේ විදේශීය නෞකාවල සේවයේ යෙදෙන වෙළඳ නාවිකයකුගේ සාමාන්‍ය මාසික වැටුප ඇ.ඩො. 500 වනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් හැත්තෑ පන්දහසක් පමණ. නාවික කපිතාන් හෝ ප්‍රධාන නාවික ඉංජිනේරුවරයෙකුගේ මාසික වැටුප ඇ.ඩො. 10,000 ක් පමණ වනවා. ඇත්තටම මේ වෙළඳ නාවිකයින් වසරකට දළ වශයෙන් ක් හෙවත් රුපියල් මිලියන තුන්දාස් හාරසිය පනහක පමණ විදේශ විනිමයක් අපේ ලංකාවට ලබා දෙනවා. ඒක සතුටු විය හැකි තත්ත්වයක්.

කිසියම් පුද්ගලයෙක් වෙළඳ නාවිකයකු වීමට අනුගමනය කළ යුතු පියවර මොනවාද ?

ඇත්තටම ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තියෙනවා. එහිදීපළමුව කළ යුත්තේ තමන්ගේ ක්ෂේත්‍ර‍ය හඳුනා ගැනීම. ඒ ඉංජිනේරු, නැව් තට්ටු හා අරක්කැමි (ස්ටුවර්ඩ්) ආදී වශයෙන්. දෙවැනුව තමන් තෝරාගන්නා අංශයේ විෂය ක්ෂේත්‍ර‍යට අදාලව පාඨමාලාවක් හැදෑරිය යුතු වනවා. එය තමයි ආරම්භක පියවර.

අපි දන්නවා විවිධ අධ්‍යාපන ආයතන අපේ රටේ තියෙනවා. එවැනි ඕනෑම ආයතනයකින් වෙළඳ නාවික පාඨමාලා හදාරන්න පුළුවන්ද ?

බැහැ. ඒ සඳහා වෙළඳ ලේකම් නාවික කාර්යාලය අනුමත කළ ආයතනයක් තෝරා ගත යුතුයි. එවැනි ආයතන 11ක් දැනට අපේ ආයතනයේ ලියාපදිංචි වී තිබෙනවා. එම ආයතන පවත්වාගෙන යන සියලුම නාවික පාඨමාලා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන්නේ දැයි අපි නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා. ඒ සඳහා වාර්ෂිකව විගණනයන්ද අපි පවත්වනවා. ඔබට අවශ්‍ය නම් එම ආයතන මොනවාදැයි අපෙන් විමසා බලන්න පුළුවන්. අපේ දුරකථන අංකය 011 2441429 සහ අපේ ලිපිනය වෙළඳ නාවික ලේකම් කාර්යාලය, පළමු මහළ, බ්‍රිස්ටල් ගොඩනැගිල්ල, යෝර්ක් වීදිය, කොළඹ 01වනවා. නැතිනම් www.dgshipping.gov.lk යන වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්නත් පුළුවන්.

පාඨමාලාවක් හැදැරීමෙන් පමණක් ඕනෑම පුද්ගලයකුට වෙළ නාවිකයකු වීමේ හැකියාවක් තියෙනවද ? නැතිනම් තවදුරටත් පරීක්ෂණවලට යොමු විය යුතුද ?

මෙහෙමයි. පාඨමාලාවක් හැදෑරීමෙන් පසු අදාළ අනෙකුත් ලියකියවිලි එනම්, ගමන් බලපත්‍රයේ පිටපතක්, වෛද්‍ය පරීක්ෂණ සහතිකය, ග්‍රාම සේවා සහතිකය, පොලිස් සහතිකය ආදිය අයදුම්පත් සමඟ ලබා දී දින කිහිපයක් තුළ සී ඩී සී සහතිකපත්‍රය හෙවත් අඛණ්ඩ මුදාහැරීමේ සහතික පත්‍ර‍ය ලබා ගත හැකි වෙනවා. ඒ සහතිකය ලබා ගැනීමෙන් පසුව ඔවුන්ට නෞකාවල රැකියා සඳහා යොමුවන්න පුළුවන්.

නිලධාරී නොවන මට්ටමේ සිට නිලධාරී මට්ටම දක්වා රැකියාවලට යොමු වන්නේ කෙසේද ?

කිසියම් පුද්ගලයෙක් නිලධාරී මට්ටමට යන්න නම් ඔවුන්ට සී ඩී සී සහතිකයට අමතරව තවත් සහතිකයක් ලබා ගත යුතු වනවා. ඒ සී ඕ සී සහතිකය හෙවත් ප්‍රවීණතා සහතික පත්‍රය. එය ලබාගැනීමටත් ඊට අදාළ පාඨමාලා අනුමත පුහුණු පාසලකින් අදාළ පාඨමාලා සඳහා නියමිත කාල සීමාව තුළ සම්පූර්ණ කළ යුතුයි. ඉන්පසුව අපේ ආයතනයේ පවත්වනු ලබන විශේෂ ලිඛිත හා වාචික පරීක්ෂණයකට මුහුණ දී ප්‍ර‍වීණතා සහතිකය ලබා ගත හැකියි. ඇත්තටම මේ ක්‍රියාවලිය අසීරු කටයුත්තක් නෙමෙයි. දැනටමත් වෙළඳ නාවිකයන් 46,000 ක්  පමණ අපෙන් සහතිකය ලබා ගෙන තියෙනවා. ඔවුන්ට ඇති ඉල්ලුම අද වන විට ඉහළ අගයක් ගන්නවා. මෙය වෘත්තීය වටිනාමක් තියෙන රැකියාවක්. ඒ නිසා සමාජීය පිළිගැනීමද ඉහළ මට්ටමක පවතිනවා.

මීට පෙර වෙළඳ නාවිකයන්ට නිකුත් කරන අඛණ්ඩ මුදාහැරීමේ සහතික පත්‍රය හා ප්‍රවීණතා සහතික පත්‍රය සඳහා නවීණ තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගැනීමේ හැකියාවක් අපට තිබුණේ නැහැ. ඉතා සරලව කියනවා නම් අපි නිකුත් කළ සහතික පත්‍ර‍ය උසස් තත්ත්වයේ ආරක්ෂිත මූලිකාංග සහිත සහතික පත්‍රයක් වුණේ නැහැ. මේ හේතුවෙන් වෙළඳ නාවිකයින්, නැව් හිමියන්, නැව් ඒජන්තවරුන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. බොහෝ විට ව්‍යාජ සහතිකපත් සකස් කිරීම නිසා වෘත්තීය අර්බුදයක් පවා හට ගත්තා. එය ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ පවතින කීර්තිනාමයට හානි වීමටද බලපාන කරුණක් වුණා. සුදුසුකම් සහිත නාවිකයන්ගේ රැකියා අනාරක්ෂිත මට්ටමකට පත්වීමටත් එය හේතු වුණා.

දැන් ඔබ ආයතනය වෙළඳ නාවිකයින් සඳහා නිකුත් කරන සහතික පත්‍ර‍ මේ වසරේ සිට පරිගණක ගත කර තිබෙනවා. එවැනි අවශ්‍යතාවක් පැන නැඟුණේ ඇයි ?

ශ්‍රී ලාංකික නාවිකයින් ඉහළ ගුණාත්මකභාවයෙන් සහ වෘත්තීය කුසලතාවකින් මෙන්ම මනා පුහුණුවකින් යුක්ත පිරිසක්. ඔවුනට විදේශ නෞකාවල රැකියා සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඇත්තටම අපේ රට ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ whitelist හි ඉහළින්ම ස්ථානගත වී සිටින සාමාජික රටක්. මේ ජාත්‍යන්තර පිළිගැනීම ඉදිරියේදීත් අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ සඳහා අපි ලෝකයේ  දියුණු රටවල මෙන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන්ට අනුකූලව, නවීන ආරක්ෂිත මූලිකාංගවලින් සමන්විත සහතික නිකුත් කිරීම පසුගිය මාසයේදී ආරම්භ කළා. එහි පළමු සහතිකය අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන්  2017 ජනවාරි 17 වැනිදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. මෙම නව ව්‍යාපෘතිය සදහා මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් සපයනවා. මේ නව සහතික නිකුත් කිරීමත් සමඟම මෙතෙක් වෙළඳ නාවිකයන් මුහුණ දෙන දුෂ්කරතා අවම වනවා. නැව් හිමියන්, නැව් ඒජන්තවරුන් හා අනෙකුත් පාර්ශවකරුවනුත් විදේශ වරායන්හිදී මුහුණ දුන් දුෂ්කරතා අවම වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මෙහි දෙවැනි අදියර යටතේ අදාළ ආයතන අතර තාක්ෂණික වශයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වාගෙන යමින් ඊ සේවාවක් ලෙස මෙය හඳුන්වා දීමට වැඩිදුරටත් අපේක්ෂා කෙරෙනවා. එමඟින්, වඩාත් කාර්යක්ෂම සේවාවක් වෙළඳ නාවිකයන්ට ලබාදීමට හැකිවනු ඇත.