කොළඹ උතුරු වරාය සංවර්ධනය සඳහා සිංගප්පූරු ආයෝජකයින්ට වරාය ඇමතිගෙන් ආරාධනා

 

කොළඹ උතුරු වරාය සංවර්ධනය සඳහා සිංගප්පූරු ආයෝජකයින්ට වරාය ඇමතිගෙන් ආරාධනා

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිංගප්පූරුවේ ප්‍රධාන වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා පසුගිය ජුනි  03 දින නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.එහිදී සිංගප්පූරු වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු සිදුකරනු ලබන පී.එස්.ඒ ජාත්‍යන්තර පෞද්ගලික සමාගමේ ප්‍රධානින් හමුවී විශේෂ සාකච්ඡාවක නිරතවිය.

මෙහිදී එම සමාගමේ මැදපෙරදිග හා දකුණු ආසියාවේ ප්‍රධාන විධායක  නිලධාරී වොන් චී ෆුන්ග් මහතා ඇතුළු ප්‍රධානින් පැවසූවේ ශ්‍රී ලංකාවේ වරායන් තුල සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු සඳහා ආයෝජන අවස්ථාවන් තිබේනම් ඒ සඳහා ඉදිරිපත් වීමට කැමති බවයි.මෙහිදී කරුණු දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ, වත්මන්  රජය විසින් උතුරු කොළඹ වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා සුදුසු ආයෝජන සැලැස්මක් හා යෝජනාවක් ලබාදෙන ලෙසයි.

එමෙන්ම ත්‍රිකුණාමලය වරායේ සංවර්ධන කටයුතු සඳහා සුදුසු යෝජනාවක් ද ලබාදෙන ලෙස අමාත්‍යවරයා පී.එස්.ඒ ජාත්‍යන්තර පෞද්ගලික සමාගමේ ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියේය.මෙම සාකච්ඡාවේදී හෙලිවූ කරුණු අනුව ලෝකයේ වරායන්හි මෙහෙයුම් කටයුතු සිදුකරන ලොකුම සමාගම් කීහිපයෙන් එකක් පී.එස්.ඒ සමාගම බවත්, සිංගප්පූරුව ප්‍රධාන වරායේ පමණක් වසරකට බහාලු මිලියන 37000 ක මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන බවයි.

මෙම සාකච්ඡාවට පී.එස්.ඒ සමාගමේ සහකාර උපසභාපති ලිම් වේ චැන්ග් මහතා ඇතුළු නිලධාරීන් ද ජේ.සී.ටී ඔයිල් බෑන්ක් සමාගමේ සභාපති ලක්මාල් රත්නායක මහතා ඇතුළු සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් ද සහභාගි විය.