වරාය සේවකයින් ගෞරවාන්විතව සේවයට මෙන්ම සමාජ සේවයටත් කැපවුණු පිරිසක් - වරාය සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.

“වරාය රැකියාව දැඩි මහන්සියෙන් කළ යුතු රැකියාවක්. එහි වගකීම් ඉටු කිරීමට දැඩි කැපවීමක් කළ යුතුයි. මේ දක්වා අප ලැබූ සාර්ථකත්වයත් අපේ සේවකයින් දැක් වූ ඒ දැඩි කැපවීමයි. අද අපි එතැනින් එහාට ගිහින් සමාජ වගකීමකුත් ඉටු කළා. ඒ වකුගඩු රෝගීන් සඳහා වූ ආධාර මුදල වෙනුවෙන් පාගමනට එක්වෙමින්. මේ පාගමනට භේදවලින් තොරව වරාය සේවකයින් සියලු දෙනාම එකට එක් වීම වරාය ඉතිහාසයේ අපි ලැබූ ලොකු ජයග්‍රහණයක්. මෙවැනි ආකාරයෙන් විශාල සේවක සංඛ්‍යාවක් සමාජ සත්කාරයක් සඳහා දායක වනවා මම මගේ ජීවිතයේදී මීට පෙර දැක නැහැ. අද අපි මුළු ලෝකයටම පෙන්නුවා වරාය සේවකයින් ගෞරවාන්විත සේවයට වගේම සමාජ වගකීම් ඉටු කිරීමටත් කැප වන බව.......” යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති දම්මික රණතුංග මැතිතුමා අද පැවසුවේ වරාය පාගමනට එක් වෙමිනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරුණු වරාය පාගමනේ මූලික අරමුණ වූයේ වකුගඩු රෝගීන් සඳහා වූ අරමුදලට ආධාර ප්‍රදානය කිරීමයි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ වරාය සහ නාවික අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම පාගමන ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සංවිධානය කෙරිණ. එම අධිකාරියේ කොට්ඨාස 25ක් ආවරණය කරමින් සේවක සේවිකාවන් හයදහසකට අධික පිරිසක් මෙම පාගමනට සහභාගි වූහ. ගාලුමුවදොර පිටියේ දකුණු අන්තයෙන් ඇරඹි පාගමන අවසන් වූයේ කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලිනි. එම අවස්ථාවේදී පාගමනට එක් වූ වරාය සේවක මහත්ම මහත්මීන්ට සිය ස්තුතිය පළ කළ  ගරු වරාය සභාපති දම්මික රණතුංග මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ කෙටි කාලයකදි 11% වර්ධනයක්  පෙන්නුම් කළ ලෝකයේ එකම වරාය කොළඹ  වරාය වන බවයි. කොතරම් අසත්‍ය ප්‍රචාර පැතිරුවද කොළඹ වරාය ප්‍රමුඛ මෙරට සියලු වරායන් ඉදිරි වසර කිහිපයේදී දියුණුවට පත් කරන බවද වරාය සභාපතිතුමා පැවැසීය. එතුමා වැඩිදුරටත් අවධාරණය කළේ මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දියුණුව සඳහා වරාය සේවකයින් සියලු දෙනා එක්ව සිටින බවයි. වරාය සේවක සේවිකාවන් අද එක්කළ මුදල් වකුගඩු අරමුදල සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමීම ලබන 10වැනිදා සිදු කෙරෙන බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ඒ එම අධිකාරියේ සී. එෆ්. එස් - 01 ගුදම විවෘත කිරීමේ උත්සවයේදීයි.