ටග් යාත‍්‍රා බලඇණියේ කාර්යක්‍ෂමතාව වැඩිකිරීමට පියවර

වරායේ නාවික යාත‍්‍රා මෙහෙයුම් කටයුතුවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය ටග් යාත‍්‍රාංගන බලඇණිය ශක්තිමත් කළ යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බැව් ප‍්‍රකාශ කළේ පසුගියදා ටග් යාත‍්‍රාංගනයේ සිදුකරන ලද නිරික්ෂණ චාරිකාවේ දී ය. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා වරායේ ටග් යාත‍්‍රාංගනයේ සේවකයින් සහ නිලධාරීන් විසින් නිරතුරුවම මෙම අංශයේ කාර්යක්‍ෂමතාව වැඩි කිරීමට ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කල අතර දැනට ක‍්‍රියාකාරී මට්ටමේ පවතින ටග් යාත‍්‍රා 07ට අමතරව නව ටග් යාත‍්‍රා දෙකක් යාත‍්‍රා බලඇණියට එක් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් වරාය අධිකාරියේ බලධාරීන්ට උපදෙස් දෙන ලදි.

මෙරටට විදේශ විනිමය වැඩි වශයෙන් ලබා ගැනීම සඳහා වරාය තුළ සිදුකළ යුතු සංවර්ධන කටයුතු කඩිනම් කිරීම මෙන්ම වරාය තුළ කාර්යක්‍ෂමතාව වැඩිකිරීම සඳහා ද පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඞී.එස් රුවන්චන්ද්‍ර සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ යන මහත්වරුන් ඇතුළු ටග් යාත‍්‍රාංගනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ හ.