ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සම්පත් කිසිම විටක විකුණන්නේ නැහැ -අපි කරන්නේ ආයෝජකයින් ගෙන්වා ගැනීම පමණයි ඇමති අර්ජුන රණතුංග අවධාරණය කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් විකිණීම තම ප්‍රතිපත්තිය නොවන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පෙන්වා දෙන්නේ වරාය හා නාවික අමත්‍යාංශයේ ප්‍රගති වාර්තාවෙනි. පාර්ලිමේන්තුවට සභාගත කළ එම වාර්තාවෙන් වැඩිදුරටත් අර්ජුන රණතුංග අමාත්‍යතුමා අවධාරණය කරන්නේ අධික ණය බරින් සමස්ත වරායම විනාශ මුඛයට ඇද දැමීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවයි.

“අද හම්බන්තොට වරාය ගැන ඒකාබද්ධ විපක්ෂය කඳුළු හෙළනවා. නොයෙකුත් කථා කියනවා. නමුත් පසුගිය ආණ්ඩු සමයේදී හම්බන්තොට වරායේ මෙහෙයුම් කිරීමට හම්බන්තොට මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට බඳවාගෙන සිටි සේවකයින් 482කගේ රැකියා ස්ථීර කර තිබුණේ නැහැ. තමන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට මේ තරුණ පිරිස් යොදා ගෙන තිබුණා. අපි රට භාර ගන්නා අවස්ථාවේදී රැකියා අස්ථාවර බව හේතුවෙන් මේ තරුණ පිරිසගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණා. නමුත් ඔවුන්ගේ අනාගතය විනාශ වීමට ඉඩදී බලා සිටිමේ හැකියාවක් අපට නැහැ. කොතරම් මූල්‍ය දුෂ්කරතා තිබුණත් අපි ඔවුන්ව ස්ථීර කිරීමට කටයුතු කළා. එය පළිහක් ලෙස යොදා ගනිමින් අපි ඔවුන්ව දේශපාලන වැඩවලට යොදා ගත්තේ නැහැ. ඔවුන්ව ඵලදායි ලෙස හම්බන්තොට වරායේ ප‍්‍රගමනයට යෙදෙව්වා. පසුගිය ආණ්ඩුවේත් අපේත් වෙනස එයයි.

හම්බන්තොට වරාය සඳහා ලබාගත් සම්පූර්ණ ණය මුදල රුපියල් මිලියන 1 ලක්ෂ 40 දෙදාස් 961යි. එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1දාස් 347ක්.  (රුපියල් බිලියන 142යි). මේ ණය ලබා ගැනීමේදී බන්කරින් සඳහා ලංකා බැංකුවෙන් ලබා ගත් රුපියල් මිලියන දෙදාස් පන්සිය හැත්තෑ හතරක මුදල හැරෙන්නට සෙසු ණය සියල්ල ලබා ගෙන තියෙන්නේ චීනයේ එක්සිම් බැංකුවෙන්. මේ ණය සියල්ලම අවස්ථා 7කදී ලබා ගෙන තියෙන්නේත් ඉහළ පොලියකට. එක් අවස්ථාවකදී මේ පොලි ප‍්‍රතිශතය සියයට 8ද ඉක්මවා යනවා. හම්බන්තොට වරාය සඳහා මේ ණය ලබා ගැනීමේදී සිදු වූ තවත් අභිරහසක් තියෙනවා. එනම් හම්බන්තොට වරායේ 1 අදියර සඳහා රුපියල් මිලියන 35දාස් 331ක ණය මුදල ලබා ගත්තේ ලයිබෝ ක‍්‍රමයට. ඒ යටතේ 2-4ක් පොලි ප‍්‍රතිශතයකින් එකී ණය මුදල පියවීමට අපිට හැකියාව තිබුණා. නමුත් වරාය අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් එම ප‍්‍රතිශතය සියයට හයයි දශම තුනක ස්ථීර පොළි ප‍්‍රතිශතයක් ලෙස වෙනස් කළා. වෙනත් විදියකින් කියනවා නම් සියයට 2-4ත් අතර වූ පොලී ප‍්‍රතිශතය සියයට 6යි දශම 3 දක්වා ඉහළ දැමුවා. මෙය කාගේ උවමනාවකට සිදුවුණාද කියලා අපි දන්නේ නැහැ. නමුත්  මේනිසා අපිට ගෙවීමට සිදුවූ පොලි මුදල අති විශාලයි.

ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සම්පත් කිසිම විටක විකුණා දැමීමට අදහස් කරන්නේ නැහැ. සුදු අලියෙක් වූ හම්බන්තොට වරායවත් විකුණා දැමීමට අපි අදහස් කරන්නේ නැහැ. අපේ මූලික උපක‍්‍රමය වන්නේ හම්බන්තොට වරායේ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදුසු ආයෝජකයකුට එම වරාය බදු දීමයි. ඒ අනුව අගමැතිතුමා චීනයේ කළ සංචාරයක ප‍්‍රතිඵලයක් වශයෙන් අපිට හම්බන්තොට වරාය සඳහා ලංසුවක් ලබා ගැනීමට හැකි වුණා. ඒ ලංසුව අපිට ලැබුණු දෙයක් නෙමෙයි. අපි බොහොම අමාරුවෙන් ලබා ගත්ත දෙයක්. හම්බන්තොට වරායට ලංසු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වුණේ ආයෝජකයින් දෙදෙනෙක් පමණයි. ඒ චීනයේම සමාගම් දෙකක්. එයින් එක් සමාගමකින් ලබා ගත් ලංසුව වුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 750ක් පමණයි. අනෙක් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1දාස් 80ක ලංසුවක් ලබා ගත්තා. දැන් වැඩිම ලංසුව ලබා දුන් සමාගම සමඟ රටට හානියක් නොවන අයුරින් ගිවිසුම් අත්සන් කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා.....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එම වාර්තාවෙන් පවසයි.