නව ගුවන් ගමන් පාලකවරුන්ට රුපියල් මිලියන 10ක ඇපකරයක්…

නව ගුවන් ගමන් පාලකවරුන්ට රුපියල් මිලියන 10ක ඇපකරයක්

ගුවන් ගමන් පාලකවරුන් මෙරට හැර යාම නිසා ගුවන්සේවා ක්ෂේත්‍ර යේ  ඇති  වී තිබෙන අර්බුදකාරී තත්වය නැති කිරීම සඳහා ගුවන්ගමන් පාලකවරුන් 50 දෙනෙකු වහාම පුහුණුව සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපල හා ගුවන්සේවා සමගමේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියට නියෝග කර ඇත.

 අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 19 වන දින රත්මලානේ පිහිටි සිවිල් ගුවන්සේවා පුහුණු පාසලට පැමිණි අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී ඇත.

මෙහිදී  අමාත්‍යවරයා දැනට ගුවන් ගමන් පාලකවරුන් ලෙස පුහුණුව ලබමින් සිටින සිසුන් සහ උපදේශකවරුන් හමු වී පාසලේ වර්තමාන තත්වය සහ අඩු පාඩු පිලිබඳව කරුණු විමසන  ලදී.

පුහුණු කටයුතු සඳහා දැනට පවතින තාක්ෂණික ගැටළු පිලිබඳව පුහුණු උපදේශකවරුන් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලද අතර එම තාක්ෂණික  අඩු පාඩු මගහැරවීමට අවශ්‍ය සියළු මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාට උප‍දෙස් ලබා දෙන ලදී. ඒ අනුව ලබන අප්‍රේල් 01 වන දා වන විට ගුවන්ගමන් පාලකවරුන් 50 දෙනෙකු පුහුණුව සඳහා  බඳවා ගැනීමට මෙහිදී තීරණය කරන ලදී. මෙහිදී අමාත්‍යවරයා කරුණු  දක්වමින් කියාසිටියේ: මෙම පුහුණු කටයුතු වලදී එක් පාලකවරයකු සඳහා දල වශයෙන් රුපියල් මිලියන 05ක පමණ මුදලක්  රජය විසින් වැයකරන බවත්, එසේ පුහුණුව අවසන් කර රටහැර ගියහොත් එය රටට දරාගත නොහැකි පාඩුවක් මෙන්ම ගුවන් සේවාවේ කඩාවැටීමක් සිදුවන බවය.එබැවින් පුහුණුව නිමකර සේවයට බඳවා ගන්නා  එක් ගුවන් ගමන් පාලකවරයකුගෙන් රුපියල් මිලියන 10 ඇපකරයකට හා වසර 10 ක සේවා කාලයකට යටත්ව බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට  අමාත්‍යයවරයා ගුවන් තොටුපල නිලධාරීන්ට  උපදෙස් ලබාදෙන ලදී. මෙහිදී මෙම වැඩපිලිවෙලට සහය ලබා දෙන සිවිල් ගුවන්සේවා පුහුණූ පාසලේ උපදේශකවරුන්ට සහ ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ නියෝජිතයින්ටද ස්තුතිය පල කරන ලදී.

මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ සහ සිවිල් ගුවන්සේවා අධීකාරියේ නිළධාරීන් පිරිසක්ද සහභාගි විය.