ශ්‍රී ලංකාවට ප්‍රංශ ආධාර කණ්ඩායමේ සෑම  සහයක්ම ලබාදෙන බව ප්‍රංශ තානාපති පවසයි.

ශ්‍රී ලංකාවට ප්‍රංශ ආධාර කණ්ඩායමේ සෑම  සහයක්ම ලබාදෙන බව ප්‍රංශ තානාපති පවසයි.

ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ ලබාදිය හැකි සියලු සහයක්ම ලබාදීමට පැරිස් ආධාර කණ්ඩායම තුලත්, ඉන් පිටතත් ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා පැවසීය.ප්‍රංශ තානාපතිවරයා මෙම අදහස් පලකලේ පසුගිය 23 දින පස්වරුවේ  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදීය.මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ තානාපතිවරයා කියාසිටියේ : ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ නිවැරැදි දිශාවකට ගමන් කරන බවයි.ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් නැගී සිටීම සඳහා අන්තර් ජාතික මුල්‍ය අරමුදල මගින් පෙන්වා දෙනලද මග පෙන්වීම අනුව ඉතා දුෂ්කර මෙන්ම  දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණ රාශියක් ජනාධිපතිවරයා විසින් ගෙන ඇතිබව අමාත්‍යවරයා තානාපතිවරයාට පෙන්වා දෙන ලදී.
 

රජයත්,රටේ ජනතාවත්  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පොරොන්දු වූ සියලු කරුණු ඉටුකර ඇති බැවින් නොපමාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය  සහයෝගය ලබාදෙන ලෙස ප්‍රංශ රජයෙන් ඉල්ලා සිටින බව  අමාත්‍යවරයා තානාපතිවරයාට ප්‍රකාශ කලේය.මේ පිළිබඳව ප්‍රංශ රජය ශ්‍රී ලංකාවට ලබාදිය හැකි  සෑම සහයෝගයක්ම ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී අමාත්‍යවරයාට පැවසීය.ප්‍රංශයේ ව්‍යපාරිකයන් සහ සමාගම් සතු නෞකාවන් විශාල ප්‍රමාණයක් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන එකී නෞකා කොලඹ සහ ත්‍රිකුණාමලය යන වරායන් ගෙන් සේවා ලබාගැනීමට දිරිගන්වන ලෙසට තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කලේය. ශ්‍රී ලංකාවේ නාවික,ගුවන්සේවා ,හා බලශක්ති යන කේෂත්‍රයන්හි ආයෝජනය කිරීමට ප්‍රංශයේ ව්‍යපාරිකයන්ට සහ සමාගම් වලට ආරාධනා කරන බවද අමාත්‍යවරයා තානාපතිවරයාට අවධාරණය කලේය.
 

එමෙන්ම ප්‍රංශයේ පැරිස් නුවර සිට කොළඹ දක්වා සෘජු ගුවන් සේවා යලිත් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසටද අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කලේය.
මේ පිළිබඳව තානාපතිවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ අතර දැනටමත් ප්‍රංශ ගුවන්සේවා සමාගම් කීපයක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා පැවැත්වීමට කැමැත්ත පලකර ඇති බවත් ඒ තුළින් ප්‍රංශ ජාතික සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවන බවත් පැවසීය.කටුනායක ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගනු ලබන තාක්ෂණ උපකරණ වලින් සියයට 90 ක්ම ප්‍රංශයේ නිෂ්පාදිත උපකරණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ගුවන්යානා මෙහෙයුම් කේෂත්‍රයේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ප්‍රංශය සමග වඩාත් ලංවූ ඒකාබද්ධ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ ආර්ථික කොන්සල්වරයා සහ අමාත්‍යාංශයේ ලේකම් වරයා ද සහභාගි විය.