සංචාරක කර්මාන්තයේ නියැළෙන හෝටල් හිමිකරුවන් හා ඒජනත්වරුන් විසින් ලබා දී ඇති තොරතුරු අනුව ඉදිරි මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන බව අනාවරණය වී ඇති බැවින්, එම කරුණු සැලකිල්ලට ගනිමින් වරාය සහ ගුවන් තොටුපොළ තුළ පහසුකම් වැඩිකිරීමට කටයුතු කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් දුන් බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෙම සැලසුම් සහගත වැඩිපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යවරයා වරාය, ගුවන්තොටුපොළ, රේගුව සහ ආගමන විගමන යන ආයතනවල නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශයේ දී පවත්වන ලද අතර, ඉන් අනතුරුව වරාය තුළ ක්ෂේත්‍ර පරික්ෂාවක ද නිරත විය.
වසර දෙකහමාරකට පසුව නෞකා මගින්, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිවන අතර, ඉදිරි මාස දෙක තුළ සංචාරකයින් රැගත් නෞකා 08ක් හා ලබන වසරේ අප්‍රේල් මස දක්වා මගී නෞකා 10 ක් කොළඹ ත්‍රිකුණාමල වරායයන් වෙත පැමිණීමට නියමිත බවත් ඉන්දියාවේ සිට සංචාරකයින් 2800 ක් හා කාර්ය මණ්ඩලය 500ක් රැගත් නෞකාවක් සහ ඕමානයේ සිට මගින් 3500ක් හා කාර්ය මණ්ඩලය රැගත් නෞකාවක් මෙම මස පැමිණිමට නියමිත බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කලේය.
එහෙයින් මෙම වැඩිවන සංචාරකයින්ගේ රේගු හා ආගමන විගමන සේවා සැපයීම සඳහා වරාය හා ගුවන්තොටුපොළ තුළ වැඩි කවුලු ප්‍රමාණයක් ස්ථාපිත කිරීමටත්, බදු රහිත වෙළෙද සැල්වල සේවා වැඩිකිරීමටත් අනෙකුත් සනිපාරක්ෂක පහසුකම් වැඩිකිරීමටත් කටයුතු කලයුතු බව අමාත්‍යවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
මේ වන විට යුරෝපයේ සිට නව ගුවන් සේවා 05 ක් මෙරටට සංචාරකයින් රැගෙන ඒම සඳහා එකඟතාව පල කර ඇති බව පැවසු අමාත්‍යවරයා, එම ගුවන්සේවා අතර, එරෝ ෆ්ලෝට්, එයාර් ප්‍රාන්ස්, අසූර් එයා ලයින්, යන ගුවන්සේවා සතියට දෙවරක් ලංකාවට පියාසර කරන බවද පැවසීය.
මේ වන විට ගුවන්යානා වලට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් සේවා සැපයීම සඳහා ගුවන්තොටුපල සමාගම විශේෂ වැඩපිලිවෙලක් සකසා ඇති අතර ගුවන්තොටුපල තුල ආගමන, විගමන හා රේගු සේවා පහසු කිරීම සඳහා කඩුලු රැසක් විවෘත කර ඇති අතර තීරුබදු සාප්පු සංකීර්ණයේ පහසුකම් ද වැඩිකර ඇති බවද පැවසීය.
මෙම සාකච්ඡාවට සහ ක්ෂෙත්ර චාරිකාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර , වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එච්.ඉලුක්පිටිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය