ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරවන්නියන් 10 දෙනකු පුහුණුව නිම කරයි .

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරවන්නියන් 10 දෙනකු පුහුණුව නිම කරයි .

-සහතික ඇමති අතින්

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මුල්‍යමය දායකත්වයෙන් , ශ්‍රී ලංකා වෙලඳ නාවිකයන්ගේ ජාතික සංගමය විසින්, මහපොල වරාය හා සමුද්‍රිය විද්‍යායතනයේ  ආරම්භකරන ලද ගැන්ට්‍රි දොඹකර පාඨමාලාව නිම කල පලමු  තරුණියන් 10 දෙනා හට සහතිකපත් ප්‍රදානය කිරීම අප්‍රේල් 03 දින පස්වරුවේ අමාත්‍යාංශ  ශ්‍රවණාගාරයේ දී වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදුකරන ලදී.

න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සහිත මෙම පාඨමාලා කාලසීමාව මාස 04 ක් වේ. මේ වනවිට මහපොල වරාය සමුද්‍රිය විද්‍යායතනයේ පුහුණුව ලද අංගන දොඹකර ක්‍රියාකාරිනියන් 08 දෙනෙකු වරාය පර්යන්තවල ඉතා ක්‍රියාශීලීව සේවාවන්හි නිරතවන බව වරාය අධිකාරිය පවසයි .

එමෙන්ම මෙවැනි පුහුණුවීම් ලබාදීම තුලින් ඉදිරියේදී ගැන්ට්‍රි දොඹකර මෙහෙයුම් සඳහා කාන්තාවන් යෙදවීමට බලාපොරොත්තු වනබව මෙහිදී අනාවරණය විය.මෙම අලුතින් පුහුණු වූ ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරවන්නියන් සඳහා පෞද්ගලික අංශයේ සහ විදේශීය රටවල බහාලු පර්යන්ත වල රැකියා අවස්ථාවන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියාසිටියේ : ශ්‍රී ලංකාවේ කාන්තාවන් සාමාන්‍යයෙන් හෙද, ගුරු වෘත්තීය, ලිපිකරු වැනි ගතානුගතික රැකියාවල නිරත වෙනවා ,ඒ ගතානුගතික ස්වරූපයෙන් වෙනස්වෙලා නාවික ක්ෂෙත්‍රය වැනි තාක්ෂණික රැකියාවලට යොමු කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා ඉදිරියේදී කාන්තාවන් මේ ක්ෂේත්‍ර සඳහා ආකර්ශනය කරගැනීමට හැකිවේ යැයි විශ්වාස කරනවා.

මෙහිදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සිම්රින් සිං මහත්මිය සූම් තාක්ෂණය  ඔස්සේ  කියාසිටියේ : අද දින පුහුණුව අවසන් කර සහතිකපත් ලබාගත්  ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරවන්නියන්ට තමගේ උණුසුම් සුභ පැතුම් පතන බවයි.

මෙම පුහුණු පාඨමාලාව සඳහා මුල්‍යමය දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නේවාසික නියෝජිතයා ලෙස තමා සතුටට පත්වන බව ද සිම්රින් සිං මහත්මිය පැවසීය.මෙම අවස්ථාවට වරාය අමාත්‍යාංශයේ ,සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකා වෙලඳ නාවිකයන්ගේ ජාතික සංගමය නිලධාරීන් පිරිසක් ද සහභාගි විය .