වරාය, ගුවන්සේවා අමාත්‍යවරයා සහ ඉරාන තනාපතිවරයා අතර හමුවක්....

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රීලංකාවේ ඉරාන තනාපති හෂේම් අස්ජාහ්සාදේ (Hashaem Ashjazadeh) මහතා අතර හමුවක්  වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේදී 2022.09.10 දින පැවැත්විණ.

මෙම හමුවේදී දෙරටේ ගුවන්සේවාවන් හා සංචාරක කේෂත්‍රය පිලිබඳ දීර්ඝ වශයෙන් සාකච්චා කෙරිණි. ශ්‍රීලංකාව සහ ඉරානයේ ටෙහෙරාන් නුවර අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීම සහ ඒ තුලින් ඉරාන සංචාරකයින්  වැඩි වශයෙන් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිලිබඳව තානාපතිවරයා අමාත්‍යවරයා සමඟ සාකච්චා කරන ලදි. එලඹෙන සංචාරක සමයත්  සමඟ ඉරාන සංචාරකයින් මෙරටට පැමිණීම තුලින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විදේශ විනිමය ගැටළුවට යම් සහනයක් ලැබෙන බවත් දෙරටේ  සුහදතාවය වර්ධනය  වීමට ඉවහල් වන බවත් අමාත්‍යවරයා මෙහිදි තානාපතිවරයාට පෙන්වා දුන්නේය.  ගුවන්යානා  ඉන්ධන  ලබා ගැනීම පිලිබඳව අමාත්‍යවරයා තානාපතිවරයා සමඟ සාකච්චා කල අතර එකි කටයුතු සිදු කරනු ලබන බල ශක්ති අමාත්‍යවරයා සමග සාකච්චා කොට දැනුවත් කරන බව අමාත්‍යවරයා පැවසීය. ශ්‍රි ලංකාවේ තේ පිලිබඳව අගය කල තානාපතිවරයා, ඉරානය මේ වන විට විශාල තේ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා බව පැවසීය.

මෙම සාකච්චාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික අංශයේ කොන්සාල්  ෂොහිල් හේරී ( Soheil Kheiri) යන මහත්වරුන්ද  සහභාගි විය.