වරාය පරිශ්‍රයේ කාණු පද්ධතිය අවහිර වන සියලු අවිධිමත් ඉදිකිරීම් වහාම නවතා දමන්න - ඇමති ජොන්ස්ටන්

වරාය පරිශ්‍රයේ කාණු පද්ධතිය අවහිර වන පරිදි විධිමත් නොවන අයුරින් ක්‍රියාත්මක වන සියලු ඉදිකිරීම් වහාම නවතා දමන ලෙස ගරු වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ පසුගියදා (06) කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයක නිරත වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. ඒ අනුව කාණු පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වන තුරු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙසත්, අදාළ සමාගම් වරාය අධිකාරියේ ගිවිසුම් ප්‍ර‍කාරව කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව වාර්තාවක් සපයන ලෙසත් අමාත්‍යවරයා වරාය අධිකාරියේ බලයලත් නිලධාරීන්ට නියෝග කළේය. 

වරාය පරිශ්‍ර‍යේ කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් සුළු වර්ෂාවක දී පවා වරාය පරිශ්‍රයේ සියලුම මාර්ග වතුරෙන් යටවන බවත් එහෙයින් වරායේ බොහෝ කටයුතු අක්‍රීය වන බවත් අනාවරණය විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඊට හේතු වී ඇති ඉදිකිරීම් සමාගම්හි අවිධිමත් ක්‍රියාකාරකම් නවතා දැමිය යුතු බවට තීරණය විය. ඒ අනුව මෙසේ අවහිර වී ඇති කාණු පද්ධති සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා ඇතුළු නිළධාරීන්ට උපදෙස් ලබාදුන් අතර වරාය අධිකාරියේ අනුමැතිය යටතේ අදාළ ඉදිකිරීම් සියල්ල විධිමත්ව සිදු කළ යුතු බවට ද අමාත්‍යවරයා  උපදෙස් ලබාදුන්නේය. 

වරාය පරිශ්‍රයේ පවතින ඉදිකිරීම් කටයුතු හා අලුත්වැඩියා කිරීම් වලදී වරාය අධිකාරිය බාහිර සමාගම්හි දායකත්වය බොහෝවිට ලබාගන්නා අතර එහිදී විශාල පෞද්ගලික සමාගම් ප්‍ර‍මාණයක් වරාය අධිකාරිය හා සම්බන්ධ වී කටයුතු කරනු ලැබේ. නමුත් එහි ඇතැම් ඉදිකිරීම් අවිධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම හේතුවෙන් මාර්ග පද්ධතිය හා කාණු පද්ධතිය මුළුමනින්ම අවහිර වී ඇත. එම නිසා වැසි දිනයන්හි දී වරාය පරිශ්‍රයේ සේවක සේවකයින්ගේ රාජකාරී කටයුතු සඳහා ද මෙය විශාල බාධාවක් වී තිබේ. මෙසේ වරායේ බොහෝ කටයුතු අකර්මන්‍ය වී ඇති මෙම ගැටළුවට පිළියමක් වශයෙන් කඩිනමින් කාණු පද්ධතිය පිළිසකර කොට යථා තත්ත්වයට පත්කරන තෙක් ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට කටයුතු කරන ලෙස ත් ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් කටයුතු කරන ලෙසත් ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.