බහළු මෙහෙයුමේදී 2030 දී කොළඹ වරායට මිලියන 30ක ඉලක්කයක්.

2030 වර්ෂය වනවිට කොළඹ වරායේ බහළු මෙහෙයුම මිලියන 30 දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතා පවසයි.  2030 දී එම ඉලක්කය සපුරා ගැනීමට කොළඹ වරාය දැන් පවතින ප්‍රමාණයට වඩා සය ගුණයකින් විශාල කළ යුතු බවද එතුමා පෙන්වා දෙයි. දකුණු ආසියාවේ උපරිම තරගකාරීත්වයෙන් යුත් සමුද්‍රික සේවා සපයන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ දැක්ම යටතේ ඒ සඳහා වූ මූලික පියවර ගැණෙන බවද එල්.පී. ජයම්පති මහතා  කියා සිටියේය.

“දකුණු ආසියා කලාපයේ උපරිම තරගකාරීත්වයකින් යුතු සමුද්‍රික සේවා සපයන මධ්‍යස්ථානය වශයෙන් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම වරාය සහ නාවික අමාත්‍යාංශයේ දැක්මයි. නමුත් එම සංවර්ධනය කිරීම සිදුවිය යුත්තේ සේවා ලාභීන්ගේ තෘප්තිමත්භාවය වැඩිවන ලෙසින් ඒ වගේම පරිසර හිතකාමී ලෙසින්...” යැයිද එල්.පී.ජයම්පති මැතිතුමා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි අයවැය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි. එම සාකච්ඡාව අද(16) පෙරවරුවේ වරාය සහ නාවික අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම් එල්.පී. ජයම්පති මහතා,

“බටහිර, නැගෙනහිර සේද මාවතේ සිදුකෙරෙන සමුද්‍රිය කටයුතුවලදී ඉතා වැදගත් ස්ථානයක් වන්නේ ශ්‍රී ලංකාව. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, සිංගප්පූරුව හා අනෙකුත් රටවල් සමග ඇති කරගැනීමට යෝජිත ගිවිසුම් ප්‍රකාරව වෙළඳ සහ භාණ්ඩ හුවමාරු කිරීම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. දැනට කොළඹ වරාය පමණක් ගත්විට වර්ෂයකට බහළු මිලියන 06 ක් පමණ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනවා.  එම ප්‍රමාණය 2030 වන විට මිලියන 30 දක්වා වර්ධනය කළ හැකියි. ඒ සඳහා කොළඹ වරාය දැන් තියෙන ප්‍රමාණය වගේ පස් හය ගුණයකින් පුළුල් කිරීමේ අවශ්‍යතාවයක්ද ඉදිරියේදී ඇති වේවි. මේ හේතුවෙන් දැනට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ අවසන් කිරීමටත්, අලුතින් බටහිර පර්යන්තයක් ඉදිකිරීමටත් සැලසුම් කරගෙන යනවා. මේ කටයුතු අපට 2020 පමණ වනවිට අවසන් කිරීමට අපේක්ෂා කරනවා. ඉන්පසු කොළඹින් උතුරු පැත්තට වන්නට අදියර දෙකකින් වරාය සංවර්ධන කටයුතු සැලසුම් කිරීමටද රජය අපේක්ෂා කරනවා. ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් අධ්‍යයනයක් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා ආයතනය දැනටමත් එකඟතාවය ප්‍රකාශකර තිබෙනවා....” යනුවෙන්ද පැවසීය.