වරාය හා නාවික අමාත්‍යවරයා



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද බුද්ධදාස සමරසිංහ මහතා වර්තමාන සම්මුතිවාදී රජයේ වරාය හා නාවික අමාත්‍යවරයා වේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බොර්න්හි ලා ට්‍රොබ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පිළිබඳ (ගෞරව) උපාධියක් ලබාසිටින ඔහු මෙල්බෝර්න්හි සීමාසහිත සී. ආර්. ඒ. සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු අංශයේ ආර්ථික විද්‍යාඥයෙකු වශයෙන් සේවය කර ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ සේවයට අනුයුක්තව සිටි ඔහු ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍ර‍ථම ලේකම් තනතුර ද ජිනිවාහි  පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩල කාර්යාලයේ කවුන්සල් තනතුර ද හොබවා තිබේ. ඔහු නිත්‍ය දූත මණ්ඩල කාර්යාලයේ සේවයේ යෙදී සිටියදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේදී ද ලෝක සෞඛ්‍ය සංවිධානයේදී ද ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා සංගමයේදී ද ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

ජිනීවාහි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ සේවයේ නියුතුව සිටියදී ඔහු 1986 සහ 1987 වර්ෂ වල පවත්වනු ලැබූ ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ ද රැස්වීම් සියල්ලේම පාහේ ශ්‍රී ලංකාව නියෝජනය කළේය. 1987 දී ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ඔහු ඉදිරිපත් කළ කම්කරුවන්ගේ නිවාස පිළිබඳ යෝජනා කෙටුම්පත සම්මේලනය විසින් අනුමත කරනු ලැබීය.  1985 සිට 1987 දක්වා වර්ෂවලදී සමරසිංහ මහතා ලෝකයේ විවිධ රටවල පවත්වනු ලැබූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කලාපීය සම්මන්ත්‍ර‍ණ රැස්වීම් ගණනාවකට සහභාගී වූයේය.

සමරසිංහ මහතා ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූයේ 1987 අග භාගයේ වැවිලි ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වශයෙන් 1988 දී පළාත් සභා දේශපාලනය තුළිනි.

1988 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමුවැන්නා ලෙස ජයග්‍ර‍හණය කළ ඔහු හට බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය හා ආර්ථික යටිතල පහසුකම් අමාත්‍යධුරය පිරිනැමීය. එම ධුර කාලය ඇතුළත පළාත් සභා  ඉතිහාසයේ පළමුවරට ප්‍ර‍ඥප්තීන් කිහිපයක් ඉදිරිපත් කරමින් පළත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හා පළාත්බද මාර්ගස්ථ මගී ප්‍ර‍වාහන අධිකාරිය පිහිටුවීමට ක්‍රියා කළේය.  මීට අමතරව පළාත් සභාවකින් නිකුත් කරන ලද පළමු ගැසට් නිවේදනය මගින් ආදායම් ලබාගැනීමේදී අයිතිය ද තහවුරු කළ එම ආදර්ශය පසුකාලීනව වෙනත් පළාත්සභා ද අනුගමනය කළේය.

1994 දී ජාතික දේශපාලනයට අවතීර්ණ වූ ඔහු එවකට ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධීකරණ ලේකම්වරයා වූයේය. එම වර්ෂයේදී ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කෙරුණු ඔහු ඊට පසුව 2000 සහ 2001 පවත්වන ලද මහ මැතිවරණවලදී යළිත් තෝරාපත් කරනු ලැබීය. 1994 සිට 2001 දක්වා කාලය තුළ විරුද්ධ පක්ෂයේ සිටියදී ඔහු විපක්ෂයේ නියෝජ්‍ය ප්‍ර‍ධාන සංවිධායකයා වූයේය. එමෙන්ම වෙළඳ සහ වාණිජ මුදල් විදේශ කටයුතු සහ කර්මාන්ත යන අමාත්‍යාංශ වල පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවල ද ඔහු සේවය කළේය.

අන්තර් පාර්ලිමේන්තු සංගමයට තෝරාපත් කරනු ලැබීමෙන් සමරසිංහ මහතාට ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව වැඩ කිරීමට අවස්ථාවක් පෑදී තිබේ. ඔහු අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විධායක කාරක සභිකයෙකි. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ දී ඔහු පළමුවෙන් ම සේවය කළේ 1996 සිට 1999 දක්වා මානව හිමිකම් පිළිබඳ කොමිෂන් සභාවේ තෝරාපත්‍ කරන ආදේශක සාමාජිකයෙකු වශයෙනි. ඉන්පසුව 1999 සිට 2004 දක්වා කාලය සඳහා එම කොමිෂන් සභාවේ ම ධුරන්ධර සාමාජිකයෙකු වශයෙන් පත් කෙරුණු ඔහු එහි උප සභාපතිධුරය ද දරා තිබේ. අන්තර් පාර්ලිමේන්තු සංගමයට තෝරා පත්වීමෙන් අනතුරුව ඔහු වාර්ෂික සම්මන්ත්‍ර‍ණ සියල්ලට ම මෙන් ම විවිධ ස්ථාන වල පවත්වනු ලැබූ වෙනත් වැදගත් රැස්වීම්වලට ද සහභාගී වී ඇත.

ප්‍ර‍ධාන පෙළේ මානව හිමිකම්වේදියෙකු වන සමරසිංහ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්ය බලකායේ උපදේශක කාරක සභාවේ සාමාජිකයෙක් ද වූයේය. මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍ර‍වර්ධනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කණ්ඩායමේ විධායක සාමාජික සහ භාණ්ඩාගාර තනතුරු ද ඔහු දරා තිබේ.

සමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිශෝධනය සම්බන්ධයෙන් ද දැඩි උනන්දුවකින් ක්‍රියා කරයි. විශේෂයෙන්ම රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල පවත්නා ගැටුමට සාකච්ඡා  මගින් දේශපාලන විසඳුමක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු ක්‍රියාශීලීව  කටයුතු කළේය. සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා 1999 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමිය සමග පවත්වනු ලැබූ සය මාසයක අඛණ්ඩ සංවාදයකට සහභාගී වූ ආණූඩු ක්‍ර‍ම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විත නියෝජිත මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ද  සමග සහභාගී වූයේය. ඔහු ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිශෝධන කිරීමේ කටයුතු වලදී දිගින්  දිගටම ක්‍රියාශීලීව කටයුතු කරයි.

2001 වසරේ පැවති මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමුවැන්නා ලෙස ජයග්‍ර‍හණය කළ සමරසිංහ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ‍පිහිටවූ එක්සත් ජාතික පක්ෂ රජයේ රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යධුරය හා ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ධුරයද හෙබවීය.  

ඔහු 2003 ජනවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිධුරය සඳහා ඒකඡන්දයෙන් තෝරාපත් කරනු ලැබීය.

මේ කාලය තුළ දී ජිනීවා අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් කමිටුවේ සභාපතිධුරයට විවිධ රටවල පාර්ලිමේන්තු 164ක නියෝජිතයන්ගේ ඡන්දයෙන් තේරීපත් වූ ඔහු ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රෂේත්‍ර‍ය තුළ විශාල සේවාවක් කිරමේ අවස්ථාව උදාකර ගත්තේය. මානව හිමිකම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් සිටිය දී මියන්මාර්හි අවුන්සාන් සුකී හා මැලේසියාවේ අනවර් ඉබ්‍රාහිම් වැනි ජාත්‍යන්තර දේශපාලන නායකයින්ගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පෙනී සිටීමට ක්‍රියා කළේය.

2004 වසරේ අප්‍රේල් පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී හතරවන වරටත් පාර්ලිමේන්තුවට තේරීපත් වන ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ධුරයට පත්විය.

සේනාධිනායකයා ලෙස ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, රට එක්සේසත් කිරීමට ගන්නා ප්‍ර‍යත්නය සාර්ථක කර ගැනීම සඳහා රජයට එක්වන ලෙස කරන ලද ඉල්ලීමක ප්‍ර‍තිඵලයක් වශයෙන් 2006 ජනවාරි 25 වන දා එක්සත් ජනතා නිදහස් සංධාන රජයට එක්වෙමනි ආපදා කලමනාකරණ හා මානව හිමිකම් කැබිනට් ධුරය භාරගත්තේය.

එදා මාවිල්ආරු සොරොව්ව අවහිර කරමින් එම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ මානුෂීය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමේ ප්‍ර‍තිඵලයක් වශයෙන් ගරු ජනාධිපතිතුමන්ගේ දූරදර්ශී දේශපාලන නායකත්වයෙන් මෙහෙය වූ ඒ මානුෂීය මෙහෙයුම දිනෙන් දින මොහොතින් මොහොත ජයග්‍ර‍හණය කරා ළඟාවෙද්දී එම ජයග්‍ර‍හණය නොරිස්සූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ළැදි ජාතික හා විජාතික බලවේග ඊට එරෙහිව ක්‍රමන්ත්‍ර‍ණය කරද්දී ජාතියක් වශයෙන් අප ලබන මෙම විශිෂ්ට ජයග්‍ර‍හණය වැළැක්වීමට ජාත්‍යන්තර දුෂ්ට බලවේග විශාල ප්‍ර‍යත්නයක් දියත් කළේය. එහිදී අතිගරු ජනාධිපතිතුමාගේ මේ ඒකායන මානුෂික මෙහෙයුමේ ජයග්‍ර‍හණය මොහොතකට හෝ පමා නොකරන්නට ජාත්‍යන්තරයේ දී ලබාදිය යුතු සහාය නොපිරිහෙලා ලබාදීමට අමාත්‍ය මහින්ද සමරසිංහගේ නායකත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායම ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ දී හා වෙනත් ජාත්‍යන්තර සංවිධානවලදී මෙන් ම බලවත් රටවල රාජ්‍ය නායකයන් හමුවේ ප්‍ර‍බල පරිශ්‍ර‍මයක් දැරුවේය.

වරෙක ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයට ගෙන ආ යෝජනාව තුනෙන් දෙකකට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් පැරදවීමට ඔහු ඇතුළු කණ්ඩායම සමත් විය. එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ජාත්‍යන්තරයේදී ඉතා විශිෂ්ට ලෙස සනිටුහන් කළ අවස්ථාවකි. ශ්‍රී ලංකාව ලද විශිෂ්ට ජයග්‍ර‍ණයකි. ඒ සඳහා නායකත්වය දුන් ඔහු සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී ආඩම්භරයකි. යම් හෙයකින් විරුද්ධවාදීන්ගේ යෝජනාව සාර්ථක  වූවා නම් එතෙක් අප ලද ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවය බිඳවැටීමට ඉඩ තිබුණි.

නැගෙනහිර අවතැන් වූ ද්‍ර‍විඩ ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබානොදෙන බවට එල්.ටී.ටී. ය හා ඔවුන්ට හිතවාදී කොටස් ජාත්‍යන්තරයේ මතයක් ඇති කරන්නට උත්සාහ ගත් අවස්ථාවේදී, එහි සත්‍යතාවක් නැතැයි පෙන්වාදීම සඳහා තානාපතිවරුන් පස්දෙනෙකු (ඇමරිකාව, ජර්මනි, ප්‍ර‍0ශය, ඉතාලිය හා ජපානය) හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් සමග මඩකලපුවේ කළ සංචාරයේදී එල්.ටී.ටී.ඊ යෙන් එල්ල වූ මෝටර් ප්‍ර‍හාරයේදී අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසේ ජීවිත බේරුණේ අනූ නවයෙනි .

2010 අප්‍රේල් පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගලවත්ත ආසනයේ සංවිධායකවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කරමින් මනාප ඡන්ද ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබාගනිමින් ජයග්‍ර‍හණය කළේය.

2015 ජනවාරි 08 ජයග්‍ර‍ණයත් සමග අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පළමු රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යධුරයද පසුව පැවති මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්වන මහින්ද සමරසිංහ මැතිතුමා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරයද 2017 මැයි 22 වන දින සිදු කළ අමාත්‍යධුර සංශෝධනයේද වරාය හා නාවික අමාත්‍යධුරයට පත් කළේය.

මහින්ද සමරසිංහ මහතා දරුවන් සිව්දෙනෙකුගේ පියෙකි.