ශ්‍රී ලංකාවේ වරායන්හි සංවර්ධනයට පියවර - අමාත්‍ය අර්ජුන රණතුංග.

ගාල්ල වරාය සංචාරක  වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගැනේ. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසූයේ ජාතික ආර්කෂාවට තර්ජනයක් නොවන සේ එය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි. ඒ යටතේ ගාලු වරාය පර්යන්තයේ නැංගුරම්ලන නාවික හමුදා යාත්‍රා හම්බන්තොට වැනි වෙනත් ස්ථාන කරා යොමුකිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි.  

“පසුගිය කාලය තුළ මේ ගාලු වරාය ආරක්ෂා කළේ නාවික හමුදාවයි. ඔවුන්ගේ මානසිකත්වයට කිසි හානියක් නොවන ලෙස ගාලු වරාය සංචාරක වරායක් බවට පත් කළ යුතුයි. මෙම ක්‍රියාවලිය වරදවා තේරුම් ගන්න එපා කියලා මම හැමදෙනාගෙන්ම ඉල්ලනවා. මොකද අපි මේ තීරණය ගත්තේ රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන්... ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

මේ අතර  හම්බන්තොට  වරාය ආශ්‍රිතව නැව් තටාකාංගණය සහ නැව් යාත්‍රාංගණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට මේ වනවිට සැලසුම් සකස් කර තිබේ. වර්ග කිලෝමීටර් හතරක (අක්කර 1000) භූමි ප්‍රමාණයක  කර්මාන්ත පුරයක් ඇති කිරීම සඳහා යෝජනා කර තිබේ. එය ක්‍රියාත්මක කරන්නේ චීන රජයයි.

හම්බන්තොට වරාය සහ ත්‍රිකුණාමල වරාය  අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය මාර්ග භාවිත කිරීමට අපේක්ෂා කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ත්‍රිකුණාමලයේ  පැරණි දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම සඳහා අධීක්ෂණ කටයුතු ද දැනට ආරම්භ කර ඇත.