‘‘අරමුණ කරා යන ගමනේ දී තිර අදිටනින් උපරිම කැපවීමෙන් හා අවංක භාවයෙන් කටයුතු කිරීම සෑම සේවක මහත්ම මහත්මියකගේ වගකීමක්’’ සාගල රත්නායක - වරාය හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2019 වර්ෂය සඳහා වැඩ ඇරඹීම  ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් පැවැත්විණි. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්බුද්ධ ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ දී, රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව කියවා රජය ගෙන යන වැඩ පිළිවෙළට දිවුරුම් දෙමින් ඇරඹි මෙම උත්සව අවස්ථාවේ සභාව ඇමතු වරාය හා නාවික දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා,

2019 වසර ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සැමට සුවිශේෂි බවත්, 2018 වර්ෂය අවසානයේ කොළඹ වරාය බහලූ මෙහෙයුම් මිලියන 7 සුවිශේෂි අවස්ථාවට ලඟා වීමට හැකි වූ බවත්, වරාය අධිකාරියේ සියලූ ක්‍ෂ්ත‍්‍රයන්ගේ ඵලදායිතාවය තවදුරටත් වැඩි කිරිමට සියලූ සේවක මහත්ම මහත්මීන්ගේ මනා කාර්යක්ෂම සේවාව ඉතා වැදගත් බව ද පැවසී ය.

මෙම උත්සව සභාව ඇමතු වරාය හා නාවික, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා,

ගෙවීගිය 2018 වර්ෂය ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ සංධිස්ථාන රැසක් හිමිකර දුන් වර්ෂයක් බවත්, විශේෂයෙන් කොළඹ වරාය JCT, SAGT, CICT බහලූ පර්යන්තයන්ගේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව තුළින් 2018 වසර තුළ බහලූ මෙහෙයුම් මිලියන 07 සීමාවට ලඟාවීමට හැකිවීම කොළඹ වරාය ලැබු විශාල ජයග‍්‍රහණයක් බවත් පැවසීය. එමෙන්ම ඇල්ෆා ලයිනර් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව 2018 වසරේ කොළඹ වරාය ලෝකයේ 23 වන ස්ථානයේ සිට 22 වන ස්ථානය දක්වා පැමිණ ඇති අතර, ලොව වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කළ වරාය බවට පත්වීම අප ලද ජයග‍්‍රහණයක් බැව් හෙතෙම වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ය.

මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා වරාය කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකරණ අධ්‍යක්‍ෂ - උපාලි සොයිසා ඇතුළු අධ්‍යක්‍ෂවරුන් කොට්ඨාශ ප‍්‍රධානීන්, විධායක නිලධාරීන් හා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරි මහත්ම මහත්මීන් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටිය හ.