විශාලතම මගී ප්රවාහන නෞකාව ලබන ඉරිදා හම්බන්තොට වරායට......

හම්බන්තොට වරායට මෙතෙක් පැමිණෙන විශාලතම සුඛෝපභෝගි මගී ප්‍රවාහන සංචාරක නෞකාව ලබන ඉරිදා එම වරායට පැමිණේ. ඒ නෙදර්ලන්තයට අයත් අධි සුඛෝපභෝගි එම්. එස්. රොටඩෑම් නෞකාවයි. මීටර් 238ක දිගින් යුත් එම නෞකාවේ කාර්ය මණ්ඩලය පමණක් 600 ඉක්මවයි. ඉන්දියාවේ කොච්චින් වරායේ සිට පැමිණෙන එම නෞකාව ලබන ඉරිදා උදෑසන 8ට හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතව තිබේ. නෞකාවෙන් මෙරටට පැමිණෙන මගීන් සඛ්‍යාව 1176කි.

මීට පෙර හම්බන්තොට වරායට පැමිණි විශාලතම මගී ප්‍රවාහන සංචාරක නෞකාව වූයේ යුරෝපා - 2 නෞකාවයි. මීටර් 226ක දිගින් යුත් එම නෞකාව පසුගිය 29 වනදින හම්බන්තොට වරායට පැමිණියේය. ලබන 7 වැනිදින හම්බන්තොට වරායට පැමිණෙන එම්. එස්. රොටඩෑම් නෞකාවද 1500කට ආසන්න මගීන් ප්‍රමාණයකට පහසුකම් ඇති ලොව පුමුඛ සුඛෝපභෝගි නෞකාවකි. හම්බන්තොට වරායට එවැනි සුඛෝපභෝගි නෞකා මේ වනවිට 13ක් පැමිණ තිබේ. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ හම්බන්තොට වරායට මෙලෙස සුඛෝපභෝගි මගී ප්‍රවාහන සංචාරක නෞකාව පැමිණීමේ නව ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බවයි. එය හම්බන්තොට අවට කලාපයේ ආර්ථික සංවර්ධනයට මහඟු පිටිවහලක් වී ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා කියා සිටියේය.

“හම්බන්තොට වරාය, වරායක් ලෙස දියුණු කිරීමේදී අංශ කිහිපයකින් අවධානය යොමු කළ හැකියි. එකක් හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික කලාප බිහිකිරීම. දෙවැන්න වරාය ආශ්‍රිතව සංචාරක කලාප ඇති කිරීම. අපි දන්නවා හම්බන්තොට අවට ප්‍රදේශය ඓතිහාසික සහ සංස්කෘතික වශයෙන් වටිනාකමක් තියෙන ප්‍රදේශයක්. කිරින්ද, කතරගම, සෙල්ල කතරගම උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඒවගේම බූන්දල, පලටුපාන, යාල සහ උඩවලව වැනි පාරිසරික වශයෙන් වැදගත් ස්ථානත් හම්බන්තොට අවට කලාපයේ තිබෙනවා. බොහෝ වෙලාවට සංචාරයකින් කැමතියි වන ජීවින් නරඹන්න. මේ නිසා ඉදිරියේදී හම්බන්තොට වරායට මගී ප්‍රවාහන සංචාරක නෞකා වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඇත්තටම වරායක් ලෙස ගත්විට බහලුම් මෙහෙයුම සේ මගී ප්‍රවාහන සංචාරක නෞකාවලින් අපට ඉහළ ආදායමක් ලැබෙන්නේ නැහැ. නමුත් මගී ප්‍රවාහන සංචාරක නෞකා පැමිණීමෙන් අපට වක්‍ර ආදායම් රැසක් උත්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා හම්බන්තොට වරායට මගී ප්‍රවාහන සංචාරක නෞකා පැමිණීම ජාතික ආර්ථිකයේ ප්‍රවර්ධනයට වැදගත් කියලා මම හිතනවා.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් පැවසීය.