ගංවතුරින් අවතැන් වූ වරාය සේවකයින්ට සහන රැසක්.

ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැපයීම වඩාත් වේගවත් කළ යුත්තේ දැන් බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ගංවතුරින් අවතැන් වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ට සහන සැලසීමේ වැඩසටහනේ ප‍්‍රගතිය සොයා බැලීමේ අවස්ථාවට අද උදෑසන එක් වෙමිනි.

ගංවතුරින් අවතැන් වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ගේ ගණන 182කි. ඔවුනට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නිවාස තාවකාලිකව ලබාදීමට මේ වනවිට එම අධිකාරිය තීරණය කර තිබේ. මීට අමතරව පිසූ ආහාර, වියළි ආහාර සහ ඇඳුම් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ සහන වැඩසටහනක්ද ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ක‍්‍රියාත්මක කරයි. එම සහන වැඩසටහනේ ප‍්‍රගතිය සොයා බැලූ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ගංවතුරින්  අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සංවිධානාත්මකව කටයුතු කළයුතු බවයි. ගංවතුරින් අවතැන්ව වූ ජනතාවගේ නිවාස අළුත්වැඩියා කිරීම, ජලය ඉසීම වැනි කාර්යයන් සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් යොදා ගතයුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. 

එතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේ අවතැන් වූවන් සඳහා පිසූ ආහාර වරාය මුළුතැන් ගෙයින් දෛනිකව ලබා දෙන ලෙසයි. ඒ අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මේ වනවිට දිනකට පිසූ ආහාර පැකට් 1000 බැගින් අවතැන්වූවන් සඳහා ලබාදේ. මෙම සහන සැලසීමේ වැඩසටහනේ ප‍්‍රගතිය සොයාබැලීමේ අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගි වී සිටියහ.