කොළඹ වරාය ඓතිහාසික වාර්තාගත සටහනක් කරමින් අද දින (2018-12-31) බහලු ඒකක මිලියන 07 ක් මෙහෙයවීමේ කඩඉම පසු කළේය. 1973 වර්ෂයේ දී පළමු බහලුව මෙහෙයවූ කොළඹ වරාය එදා මෙදාතුර මෙවන් සුවිශේෂී සංදිස්ථානයකට පැමිණීම වාර්තාගත ජයග්‍රහණයකි.
මෙම අවස්ථාව සැමරීම අද දින කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහලු පර්යන්තයේ (JCT) දී සිදු කෙරිණි. වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාව නියෝජනය කිරීම සඳහා කොළඹ වරායේ ප්‍රධාන පර්යන්තයක් වන ජය බහලු පර්යන්තය (JCT), සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය (SAGT), කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) යන පර්යන්තයන්හි උසස් නිලධාරීන් සහභාගී විය.
2018 වර්ෂය කොළඹ වරායට ජයග්‍රාහී වසරක් විය. කොළඹ වරාය මෙම වසරේ දී (2018) ලොව හොඳම බහලු මෙහෙයුම් වරාය 30 අතර පළමු (01) ස්ථානයට පත්විය. ජාත්‍යන්තර ඇල්ෆා ලයිනර් දර්ශකයට අනුව කොළඹ වරාය පළමු අර්ධ වාර්ෂිකය තුළ දී ළඟා කරගත් බහලු මෙහෙයුම් වර්ධන අනුපාතය 15.6% කි. එය පසුගිය වසරේ (2017) එම කාලසීමාවට වඩා ඉහළ වර්ධනයකි. මෙම ඓතිහාසික වාර්තාගත වර්ධනය හා ලොව අංක 01 ලෙස සමුද්‍රීය වෙළඳ ව්‍යාපාරය තුළ ශ්‍රේණිගත වීම (Maritime Ranking) කොළඹ වරාය ළඟාකරගත් සුවිශේෂී ජයග්රණයකි. එමෙන්ම ආසියානු, යුරෝපියානු හා මැදපෙරදිග වරායන් අභිභවා කොළඹ වරාය මෙම ජයග්‍රහණය සටහන් කොට තිබීම ද වර්ධනීය තත්ත්වයකි.
මේ වනවිට කොළඹ වරායේ පර්යන්ත අතර ඇතිකරගෙන ඇති අන්තර් පර්යන්ත මෙහෙයුම් අවබෝධතා ගිවිසුම (MOU) අනුව කොළඹ වරායේ සියලු පර්යන්ත සිය උපායමාර්ගික පර්යන්ත ව්‍යාපාර ප්රවර්ධනයන් (Marketing Strategies) එක්ව සිදු කරයි. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින ජය බහලු පර්යන්තය (JCT), සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය (SAGT), කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) යන පර්යන්ත මෙම අවබෝධතා ගිවිසුම හා බැඳී පවතී. මෙම ගිවිසුම පදනම් කරගනිමින් කොළඹ වරායේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු පර්යන්ත අතර සාමුහික එකඟතාවකින් යුතුව සිදු කෙරේ.
මෙම ක්‍රමවේදය මගින් කොළඹ වරායේ පිටතදී පෙර පිවිසුම් කලාපයේ නෞකාවන් සඳහා පර්යන්ත පහසුකම් ලබාගැනීමට ගත වන කාලය (Waiting Time) අවම කරගැනීමට හැකිව තිබේ. එමෙන්ම අදාළ ප්‍රමුඛතාව අනුව, කොළඹ වරාය විසින් අදාළ නෞකාවන්ගේ මෙහෙයුම් කටයුතු ඉක්මනින් සිදුකරගැනීමට හැකි වේ. මෙම තත්ත්වය කොළඹ වරාය ජාත්‍යන්තර නාවික වෙළඳාම තුළ ඉහළ විශ්වසනීයත්වයක් රඳවා ගැනීමට හේතු වෙයි.
මේ හේතුවෙන් පිදෙන අන්තර්ජාතික ඇගයීම් රැසක්ම මෙම වර්ෂයේ දී (2018) ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද හිමි විය. ගෝලීය වරාය සංසදය (Global Port Forum (GPF)) විසින් පිදෙන ‘Ports Authority of the Year - 2018’ (2018 වර්ෂයේ හොඳම වරාය අධිකාරිය) සම්මානය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවිය. එම සම්මානය එහි සමුළු සංසදය (Conference Forum) පැවති ඩුබායි හි Grand Hyatt හෝටලයේ දී 2018 පෙබරවාරි මාසයේ දී පිදිණි.
1973 වර්ෂයේදී කොළඹ වරායේ ආරම්භ වන බහලු මෙහෙයුම්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය බිහිවීමත් සමග සංවිධිත විය. ඒ අනුව 1985 ජය බහලු පර්යන්තය (JCT) හි පළමු අදියර ද, දෙවන අදියර 1987 දී ද, තුන්වන අදියර හා පස්වන අදියර 1995 දී 1996 දී බහලු මෙහෙයුම් සඳහා එක්විය. එය කොළඹ වරාය බහලු මෙහෙයුම් වර්ධනය කෙරෙහි ඍජුවම බලපාන ලදි. මෙම තත්ත්වය තවත් වර්ධනය වීමට බලපෑ සාධකය වූයේ රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් (Public Private Partnership - PPP) යටතේ 1999 වර්ෂයේ දී සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය (SAGT) පිහිටුවීමත්, 2012 වර්ෂයේදී කොළඹ අන්තර්ජාතික බහලු පර්යන්තය (CICT) පිහිටුවීමත් සමගය.
ඒ අනුව 1999 වර්ෂයේ දී පිහිටුවන SAGT පර්යන්තය 30 වසරක් සඳහා වන ව්‍යාපාරික ගිවිසුමට (PPP) ඇතුළත් වන අතර, එහි සම්පූර්ණ ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 180කි. එහි ව්‍යාපාරික කොටස් (Market Shares) අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය (Sri Lanka Ports Authority) සතුව 15% ක් ද, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් සමාගම සතුව 85% ක් ලෙස ද පවතී.
2013 වර්ෂයේ සිට ව්‍යාපාර කටයුතු ආරම්භ කරන කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්ත සමාගම (CICT) ද PPP ක්‍රමය යටතේ කොළඹ වරායේ ව්‍යාපාර කටයුතු සඳහා සම්බන්ධව සිටී. එහි ව්‍යාපරික ගිවිසුම් කාලය වසර 35 කි. එහි මුළු ආයෝජන වටිනාකම ඇ.ඩො.මිලියන 550 කි. එහි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොටස් හවුල්කාරීත්වය 15% ක් වන අතර, ඉතිරි 85%ක කොටස් හවුල්කාරීත්වය CICT සමාගම සතුව පවතී.
ජය බහලු පර්යන්තය (JCT) 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු පර්යන්තයකි. 2016 වර්ෂයේ දී එහි බහලු මෙහෙයුම් ධාරිතාව ඍණ අගයක් පෙන්නුම් කළ ද, 2018 වර්ෂයේ දී මිලියන 2.3 ක බහලු ඒකක (TEUs) ප්‍රමාණයක් මෙහෙයවීය. 2017 වර්ෂයට සාපේක්ෂව 15% වර්ධනයක් ලෙස දැක්විය හැක. එමෙන්ම අදාළ වර්ෂයේ දී ප්‍රතිනැව්ගත බහලු ඒකක (Transshipment TEUs) මෙහෙයුම් ධාරිතාව 23% කින් ද ඉහළ ගොස් ඇත.
ජය බහලු පර්යන්තය (JCT) 100 % ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු පර්යන්තයකි. 2016 වර්ෂයේ දී එහි බහලු මෙහෙයුම් ධාරිතාව ඍණ අගයක් පෙන්නුම් කළ ද, 2018 වර්ෂයේ දී මිලියන 2.3 ක බහලු ඒකක (TEUs) ප්‍රමාණයක් මෙහෙයවීය. 2017 වර්ෂයට සාපේක්ෂව 15 % ක වර්ධනයක් ලෙස එය දැක්විය හැක. එමෙන්ම අදාළ වර්ෂයේ දී ප්‍රතිනැව්ගත බහලු ඒකක (Transshipment TEUs) මෙහෙයුම් ධාරිතාව 23% කින් ද ඉහළ ගොස් ඇත.
කොළඹ වරාය සැලකීමේ දී එහි බහලු මෙහෙයුම් ඒකක මිලියන 01 කඩඉම 1995 දී සිදු කළ ද, මිලියන 02 ක වාර්තාව සඳහා වසර 09 ක් ගත වීය. එනම් එය සාක්ෂාත් වන්නේ 2004 වර්ෂයේ දී ය. ඒ සඳහා SAGT පර්යන්තයේ දායකත්වය ද ලැබිණි. පිළිවෙළින් 2006 වර්ෂයේ මිලියන 03 ද, 2010 වර්ෂයේ මිලියන 04 ද, 2015 වර්ෂයේ CICT පර්යන්තය ද සමගින් මිලියන 05 ද, 2017 වර්ෂයේ මිලියන 06 ක් ලෙසින් ද දක්වා පැමිණ ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පසුගිය කාලය පුරාවට සිදුකරන ලද නව්‍යකරණයන් හේතුවෙන් වරාය මෙහෙයුම් සඳහා දායක වන සෑම අංශයකටම සුවිශාල වර්ධනයක් ඇති කිරීමට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ වාණිජ වරාය සංවර්ධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය තීරණය යටතේ වන උපාය මාර්ගික ප්රවේශයන් ද මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ යටතේ වරාය ආශ්රිත ආයෝජන දිරි ගැන්වීමටත්, ඒ සඳහා වන සංවර්ධන උපාය මාර්ග හඳුන්වාදීමත් තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දැක්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට හැකියාව ලැබී තිබේ.