වරාය හා නාවික අමාත්‍යවරයාගේ ඔළුවිල් වරාය සංචාරය

ඔළුවිල් වරාය සම්බන්ධයෙන් පවතින ගැටළු වලට විසඳුම් ලබාදීමේ අරමුණින් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එහි සංචාරයක නිරත විය.

එහිදී ඔළුවිල් වරාය සේවකයින්ගේ හා ප්‍රදේශවාසීන්ගේ ප්‍ර‍ශ්න හා යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසඳුම් කිහිපයක් ලබාදුන් අතර වරාය ආරම්භ කිරීමේදී ප්‍රදේශවාසීන්ගෙන් පවරාගත් ඉඩම් සඳහා මෙතෙක් වන්දි නොලැබූවන් වෙනුවෙන් මාස දෙකක් තුළ අදාළ වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන මෙන් අදාළ අංශ වෙත අමාත්‍යවරයා නියෝග කළ අතර ඒ සඳහා ගරු ජනාධිපතිතුමාගේ ද අවසරය ලබාගත් බවද දන්වා සිටියේය.

මෙතෙක් මෙහෙයුම් කටයුතු සිදු නොකර ඇති ඔළුවිල් වරාය ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික ආයෝජකයන්ගේ සහභාගීත්වයෙන් සංවර්ධනය කිරීමට අවශ්‍ය යෝජනා දැනටමත් අධ්‍යයනය කරමින් සිටින අතර ඉදිරියේදී ස්ථිර ලෙස වරායේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍යවරයා වරාය ආශ්‍රිත ප්‍ර‍දේශය නිරීක්ෂණය කරන ආකාරයයි.

එම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර ප්‍ර‍ධාන අමාත්‍ය හෆීස් නසීර් අහමඩ්, වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාර් කාසිම්, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එල් පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍ර‍ම දිසානායක මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.