වරාය හා නාවික විෂය පාසල් සිසුන් අතර ජනප්‍රිය කිරීමේ නව වැඩසටහනක්.

වරාය සහ නාවික විෂය පාසල් සිසුන් අතර ජනප්‍රිය කිරීමේ නව වැඩසටහනක් වෙළඳ නාවික ලේකම් කාර්යාලය ආරම්භ කර තිබේ. එහි තුන්වැනි වැඩසටහන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී පසුගිය 24වැනිදා පැවැත්විණ.  ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල් නියෝජනය කරමින් එම වැඩසටහනට එක් වූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව 350කි. වරාය සහ නාවික විෂය ගැන මූලික දැනුම මෙන්ම ඒ සඳහා පාසල් සිසුන් අභිප්‍රේරණය කිරීමද මෙම වැඩසටහනේදී සිදු කෙරිණ.

වරාය සහ නාවික විෂය දිනෙන් දින අලුත්වන විෂය ධාරාවකි. එම විෂය පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමෙන් ඉදිරියේදී නව රැකියා සඳහා අවශ්‍ය මානව සම්පත ඇති කළ හැකිබව වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ මූලික දැක්මයි. උසස් පෙළ සිසුන්ට මෙම විෂය පිළිබඳ මූලික දැනුමක් ලබා දී පසුව ඔවුන් එම විෂයෙහි ප්‍රායෝගික පුහුණු වීම් සඳහා යොමු කිරීමටද වෙළඳ නාවික ලේකම් කාර්යාලය අපේක්ෂා කරයි. වෙළඳ නාවික ලේකම් කාර්යාලය වරාය සහ නාවික අමත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වේ.