ත්‍රිකුණාමලය වරායේ රාත්‍රි මෙහෙයුම් ආරම්භ කරයි.

 

                                                         ත්‍රිකුණාමලය වරායේ රාත්‍රි මෙහෙයුම් ආරම්භ කරයි

 

ලෝකයේ ස්වාභාවික වරායන් අතරින් පස්වන විශාලතම වරාය ත්‍රිකුණාමල වරාය වේ .ඉතිහාස ගත තොරතුරු වලට අනුව පුරාණ "ගෝකන්න" ලෙසින් හැඳින් වූයේ ත්‍රිකුණාමලය වරාය ලෙස බව හඳුනාගෙන ඇත. 1815 මාර්තු 02 වන දින  ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ට යටත් වීමත් සමඟ ත්‍රිකුණාමල වරායේ ඇති ආරාක්ෂිත පිහිටීමේ ස්වාභාවය හදුනාගැනීමත් සමඟ බ්‍රිතාන්‍යන් විසින් රාජකීය නාවික හා ගුවන් හමුදා කදවුරක් ස්ථාපිත කරන ලදී. 1948 වර්ෂයේ ලැබූ නිදහසින් පසු 1967 වර්ෂයේ දී  ත්‍රිකුණාමලය වරාය ද ජනසතු කරන ලදී. 1979 වසරේදී  ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවීමෙන් පසු ත්‍රිකුණාමලය වරායද ඒ යටතට පත්විය .

නාවික ගමනාගමනය හා වෙලඳ ප්‍රවාහනයේ දියුණුවත් සමග කොළඹ වරායේ සංවර්ධන කටයුතු සීග්‍රයෙන් සිදුවීම හේතුවෙන් ත්‍රිකුණාමලය වරායේ සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් කටයුතු අඩාල විය .එහෙත් ⁣ලෝක⁣යේ කර්මාන්ත වරායන් සහ සංචාරක වරායන් අතරින් ත්‍රිකුණාමලය වරායට අන්තර්ජාතික ආකර්ශනයක් ලැබී තිබේ .වෙලඳ නාවික ප්‍රවාහන කටයුතු පුළුල් වීමත් සමඟම ත්‍රිකුණාමලය වරායට ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ රාත්‍රි මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නොහැකි වීමයි.ඒ අනුව රාත්‍රි කාලයට පැමිණෙන නෞකාවන් වරායෙන් පිටත නැංගුරම්ලා දහවල් කාලයේ වරාය තුලට ගෙන ඒමට සිදුවීම හේතුවෙන් වරායේ කාර්යක්ෂමතාව පිළිබඳව විශාල ගැටලු මතුවිය.

මෙම ගැටලුව පිළිබඳව 2017 වසරේදී ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ජපන් ව්‍යාපෘති නොවන ප්‍රදානයන් වැඩසටහන යටතේ (Under The Non Project Grant Aid) සහ 2017 ආර්ථික හා සමාජීය සංවර්ධන වැඩසටහන ( Economic and Social Development Program ) යටතේ ත්‍රිකුණාමලය වරාය රාත්‍රි මෙහෙයුම් කටයුතු ව්‍යාපෘතිය සඳහා ජපාන යෙන් බිලියන 01 ක ප්‍රදානයක් ලබාදීමට කටයුතු කරන ලදී .

මෙම ප්‍රදානය යටතේ නාවික තදබදය කලමණාකරන පද්ධතිය,රේඩාර් උපකරණ,ප්‍රදීපාගාර උපකරණ,නාවික බෝයාවන් 16ක් ,මූර් බෝයාවන් 02 ක් ,කි.වො 400 කින් යුතු විදුලි ජනනය යන්ත්‍ර 02ක් ,ගිනි නිවන යන්ත්‍ර 14 ක් ,නියමු යාත්‍රාවක් ලබා දී ඇත.

මෙම නවීන උපකරණ හා අංගෝපාංග වලින් සමන්විත " ත්‍රිකුණාමල වරාය රාත්‍රි  නාවික මෙහෙයුම් ව්‍යාපෘතිය" (Trinco Night Navigation Operations Project ) නාවික මෙහෙයුම් කටයුතු සඳහා බාරදීම 2023.07.17 දින පෙරවරුවේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂී හිඩෙකි ( Mizukoshi Hideaki ) යන මහත්වරුන් ඇතුළු වරාය  නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ හා වරාය අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.මෙම රාත්‍රි නාවික මෙහෙයුම් කටයුතු ආරාම්භ කිරීමෙන් පසු ත්‍රිකුණාමලය වරායේ දෛනික මෙහෙයුම් ධාරිතාව වැඩිකර ගැනීමට හැකි වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශ්වාසය පල කරයි.