කොළඹ වරායේ SAGT ලෝකයේ හොඳම පර්යන්ත 5 අතරට.

කොළඹ වරායේ මෙහෙයුම් සිදු කරන South Asia Gateway Terminals හෙවත් SAGT සමාගමේ බහළුම් පර්යන්තය ඵලදායිතාවෙන් ලෝකයේ හොම පෞද්ගලික පර්යන්ත 5 අතරට එක් වේ. ලෝ ප්‍රකට එක්සත් ජනපදයෙහි වානිජ සඟරාව කළ සමීක්ෂණයට අනුව SAGT බහළුම් පර්යන්තයට එහිදී හිමිව ඇති අන්තර්ජාතික ස්ථානයේ සිව්වැන්නයි. මීට අමතරව ඵලදායිතාවෙන් දකුණු ආසියාවේ පළමු ස්ථානයට පත්ව සිටින්නේද SAGT පර්යන්තය වේ. ජාත්‍යන්තරව සහ කලාපීය වශයෙන් ලැබූ එම ජයග්‍රහණ සනිටුහන් කරමින් ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාට සමරු සටහන් තිළිණ කිරීම සිදු කෙරුණේ  SAGT සමාගමේ ප්‍රධාන වෙළඳ නිලධාරී ටෙඩ් මුත්තයියා මහතා සහ වෙළඳ සහ අලෙවිකරණ කළමනාකාරිනී ධාෂ්මා කරුණාරත්න මහත්මියගේ සහභාගිත්වයෙනි. ගෝලීය වපසරියෙහි ශ්‍රී ලංකාවේ බහළුම් පර්යන්ත ක්‍රියාකාරිත්වයේ හැකියාව වෙනුවෙන් ලැබූ ගෞරවනීය නාමය සිහිගැන්වීම සනිටුහන් කරමින් එම සමරු තිළිණය පිරිනැමීම සිදු කෙරිණ. මෙහිදී අදහස් දක්වමින් ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසූයේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන හැකියා ප්‍රදර්ශනය කරන වැදගත් අවස්ථාවක් ලෙස මෙම ජයග්‍රහණය හැඳින්විය හැකි බවයි.

“ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිවැරදි ව්‍යූහාත්මක සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය කැපවී ක්‍රියාකරමින් සිටිනවා. ඒ වගේම මේ ජයග්‍රහණය ලැබූ මේ මොහොතේ SAGT සමාගමටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ එහි පාරිභෝගිකයන්ට අපේ සුභපැතුම් එක්කරනවා. කොළඹ වරාය හොඳම නැවතුම්පල බවට පත්කිරීම ඉදිරියේදී අප හමුවේ ඇති අභියෝගයක්. ඒ සඳහා සියලු දෙනාම එක්විය යුතු යැයි මම විශ්වාස කරනවා..” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සියයට 50කට වැඩි කොටස් හිමිකාරිත්වයක් ශ්‍රී ලංකාවට හිමි මෙරට පර්යන්ත මෙහෙයුම් කරන පුද්ගලික සමාගම වන්නේ SAGT සමාගමයි. 1999 වර්ෂයේදී ආරම්භ කළ එම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, ඒ. පී. එම්. ටර්මිනල්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ Peony investments (subsidiary of Evergreen Marine Corporation) සමාගම් ඒකාබද්ධව මෙහෙයවයි. එම සමාගමේ පර්යන්තය පැයකදී මෙහෙයුම් කරන සමස්ත බහළුම් ප්‍රමාණය 113කි. එක් ක්‍රේන් යන්ත්‍රයකින් බහාළුම් 34ක් මෙහෙයවීමටද එම පර්යන්තය සමත්ව තිබේ. එම සමාගමේ ප්‍රධාන වෙළඳ නිලධාරී ටෙඩ් මුත්තයියා මහතා පැවසූයේ තම සමාගම ලැබූ ජයග්‍රහණය කොළඹ වරාය හා සම්බන්ධ පාර්ශව ගණනාවක ඒකාබද්ධ ප්‍රයත්නයක් නිසා ලද ඉහළ ඵලදායීතා ජයග්‍රහණයක් වන බවයි. “අපි ලබා ගෙන තියෙන්නේ වසර ගණනාවක්  තිස්සේ ඉලක්ක කළ ඉහළ කාර්යක්ෂමතා ජයග්‍රහණයක්. එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියාමනය සහ භාරකාරිත්වය යටතේ සාර්ථක රාමුවක ක්‍රියාත්මක වීම නිසා මෙම ප්‍රතිඵලය ලබාගැනීමට හැකිවුණා. පක්ෂපාතීව සහ මනා කැපවීමකින් අපේ කණ්ඩායම ක්‍රියාත්මක වීමද මේ ජයග්‍රහණයේ රහසක්....” යනුවෙන්ද ටෙඩ් මුත්තයියා මහතා පැවසීය.

 

ලොව ඵලදායී පර්යන්ත 05

ස්ථානය             පර්යන්තය                       වරාය                            රට                                  බහාළුම්

ඵලදායිතාව

  1         Xiamen Songyu                      සියාමෙන්                      චීනය                               131

  2         APM Terminals                      යොකොහොමා               ජපානය                             121

  3         Tianjin Five Continents Int’l   ටියන්ජින්                        චීනය                               119

  4          SAGT                                   කොළඹ                          ශ්‍රී ලංකාව                       113

  5         DP World Jebel Ali                 ඩුබායි                            එ.අ.එ.රාජ්‍ය                      112