‘බ්ලූ රිජ්’ යුද නෞකාව දින 07ක් කොළඹ වරායේ.

එක්සත් ජනපදයේ හත්වැනි බල ඇණියේ USS බ්ලූ රිජ් (LCC 19) යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණියේ පසුගිය 26 වැනිදාය. 2011 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු එක්සත් ජනපද නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ඇමරිකාවේ වොෂින්ටන් නුවර පසුගිය මස පැවති සහයෝගීතා සාකච්ඡාවන්හි ප්‍රතිඵල වශයෙන් මෙය ලංකාවට පැමිණියේය. ඉන්දියානු සාගර කලාපයේ සාගර ආරක්ෂක සහයෝගීතා ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම, මුහුදු කොල්ලකෑම් පාලනය, මානුෂීය ආධාර ලබාදීමේ වැඩසටහන් සඳහා සහායදීම සහ කලාපයේ අත්‍යවශ්‍ය නැව් මාර්ග තුළ සංචලනයේ නිදහස්බව සහ ආරක්ෂිතබව  තහවුරුකිරීම වැනි අරමුණු සඳහා මෙම නෞකාව පැමිණ ඇත.

මෙම නෞකාවේ 900 කට අධික නාවිකයින් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. බ්ලූ රිජ් නාවිකයින් ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ නිවාඩු දිනයන් යොදා ගනිමින්, ප්‍රජා මධ්‍යස්ථානයක බිත්ති සහ ගෘහ භාණ්ඩ අළුත්වැඩියා කිරීම සහ අසරණ පිරිස් සඳහා ආහාර ලබාදීමට නියමිතය.

ටොන් 19 200ක ධාරිතාවයකින් යුක්ත බ්ලූ රිජ් නෞකාව දින හතක කාලයක් කොළඹ වරායෙහි රැඳී සිටිනු ඇත. මෙම නෞකාවේ හත්වැනි නෞකා ඛාණ්ඩයේ වාදක කණ්ඩායම කොළඹ නගරයේ නොමිලයේ පොදු සංදර්ශනයක්  පැවැත්වීමට සැලසුම්කළ අතර එය පසුගියදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පවත්වන ලදී. නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමග වැලිසර නාවික කඳවුරේදී පැසි පන්දු, බේස් බෝල් හා පාපන්දු තරඟ කිහිපයකට සහභාගීවීමට නියමිත අතර නාවික හමුදා නිලධාරීන් හා නාවිකයින් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන්ද සංවිධානය කර ඇත.

බ්ලූ රිජ් නෞකාව 31 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. එදින ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නාවික අභ්‍යාසයක නිරත වනු ඇත.  මෙය ඉදිරි වර්ෂ 36 සඳහා ජපානයේ යොසුකා නුවරට යොදවා ඇති අතර ප්‍රධාන අණදෙන නිලධාරියා වශයෙන් එක්සත් ජනපද හත්වන බල ඇණියේ කොමදෝරු වයිස් අද්මිරාල් ජෝසෆ් ඕකොඉන් කටයුතු කරයි. ඉන්දීය - ආසියා පැසිෆික් කලාපයේ සම්බන්ධතා ශක්තිමත් කිරීමට බ්ලූ රිජ් නෞකාව කැපවී සිටින බව ඔහු පවසයි.