ප්‍රීතිපුර ළමා නිවාසයේ දරුවන්ගේ වරාය සංචාරය.

වත්තල - හැඳල ළමා නිවාසයෙහි විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් පසුගියදා කොළඹ වරාය නැරඹීමේ විශේෂ චාරිකාවක නිරත විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතාගේ ඇරයුමෙන්, ආයතනික සමාජීය වගකීම් කෙට්ඨාශයේ සංවිධානත්වයෙන් කොළඹ වරාය දැක බලා ගැනීමට පැමිණි ඔවුන්ව සේරම් දොරටුව අසළදී පිළිගත් අතර එහිදී සමගි බහලු පර්යන්තය, ජය බහලු පර්යන්තය, දකුණු කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රය ආදී වැදගත් ස්ථාන රුසක් නැරඹීම සඳහා ඔවුන්ට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගද සුහද පිළිසඳරේ යෙදෙමින් ඔවුන් සමග විවිධ ක්‍රීඩා ප්‍රදර්ශනාත්මක ඉසව් පුහුණු අවස්ථාවන්ටද මෙහිදී ඉඩ කඩ සැලසිණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා ප්‍රීතිපුර ළමා නිවාසයේ සිට වරාය නැරඹීමට පිමිණී සියලු දෙනා සාදරයෙන් පිළිගන්නා බවත්, ළමුන් මැනවින් රැකබලා ගන්නා සේවක මණ්ඩලයට තම ප්‍රණාමය හිමිවන බවත් පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළුතැන්ගෙයි පිළියෙල කළ සුවිශේෂී දිවා ආහාර වේලක් භුක්ති විඳීමටද ඔවුනට අවස්ථාව සැලසුණු අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොට්ඨාස රැසක සේවක මහත්ම මහත්මීන් විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක කොටුව බෝධිරාජ විහාරාධිපති පූජ්‍ය නිකුල පඥ්ඥාසාර හිමි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග, ආයතිනක සමාජීය වගකීම් කොට්ඨාශයේ ප්‍රධානී මැල්කම් පෙරේරා, සුභ සාධක කලමනාකරු නිමල් ජයතිස්ස, ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ඩී.රාජකාන්තන් යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් රැසක් එක්වීය.