වරාය සංවර්ධනයට විවෘත සංවාදයක් අවශ්යසයි- ඇමති අර්ජුන පවසයි

වරාය, නාවික සහ සමුද්‍රීය ගැටළු විසදා ගැනීම උදෙසා විවෘත සංවාදයක් අවශ්‍ය බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පෙන්වා දෙයි. වරාය, නාවික සහ සමුද්‍රීය ක්ෂේත්‍රයෙහි ආයතනවල නීති සහ ප්‍රතිපත්ති නව යුගයට ගැලපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එතුමා මේබව අවධාරණය කළේ වරාය, නාවික සහ සුමද්‍රීය කටයුතු පිළිබඳ අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුව පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. කමිටුව පිහිටුවීම වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවැත්විණ.

වරාය, නාවික සහ සමුද්‍රීය කටයුතු පිළිබඳ අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත පිහිටු වූවකි. ඒ සඳහා වූ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමායි. වරාය, නාවික හා සමුද්‍රීය ක්ෂේත්‍රයෙහි ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති  සම්පාදනය කිරීම, පසුවිමසුම් කිරීම මෙන්ම ඇගයීම මෙම කමිටුවේ මූලික අරමුණ වේ. ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමද මෙම කමිටුවේ තවත් අරමුණකි. එහි මංගල කමිටු රැස්වීමට එක් වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ, “ඉතාමත් සාර්ථක පළමු රැස්වීම අපි අද පැවැත්වූවා. එයින් සියලු ආයතනවල පවතින මතභේද සහ ගැටළු මධ්‍යස්ථව විසඳගැනීමට අපිට හැකි වී තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මාසයකට සැරයක් රැස් වෙන්න. එතැනදී අපිට පුළුවන් තියෙන ප්‍රශ්න එම අවස්ථාවේදීම සාකච්ඡා කරලා එම අවස්ථාවේදීම තීරණ ගන්න.  එමගින් අපිට වරාය සංවර්ධන කටයුතුවල මෙන්ම අයෝජකයින් සමග තියෙන ප්‍රශ්නත් සාකච්ඡා කරලා තීරණයන්ට එළැඹෙන්න පුළුවන්......” යනුවෙනි.  

අද පිහිටු වූ කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතායි. කමිටු රැස්වීම ආරම්භ කරමින් එල්. පී. ජයම්පති මැතිතුමා කියා සිටියේ සහයෝගය සහ අන්තර් දැනුම හුවමාරුව ගැටළු විසදා ගැනීම සඳහා හොඳම මාර්ගය වන බවයි.

 “අපේ අමාත්‍යාංශයට ලැබෙන ප්‍රශ්න සියල්ලම කලින් විසඳිය හැකි ඒවා. ඒ නිසා මේ ගැටලු සහ අදහස් හුවමාරු කරගැනීමට අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. මෙය ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානයේ අවශ්‍යතාවයක්. මේ වන විට කොළඹට එන නෞකා සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් වසරකට 4000ත් 4500 ත් අතර ප්‍රමාණයක නෞකා කොළඹට සහ අවශේෂ වරායන්ට පැමිණෙනවා. මේ නෞකාවලට අවශ්‍ය සේවා සැපයීමේදී සියලු ආයතන අතර සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා......” යනුවෙන්ද වරාය නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මැතිතුමා පැවසීය.