තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක කිරීමට වරාය අමාත්‍යාංශය පෙළ ගැසෙයි... මහජනතාව තොරතුරු දැන ගැනීම සැඟවීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ - ඇමැති අර්ජුන පවසයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණත ක්‍රියාත්මක කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පෙළගැසෙයි. එහි මූලික පියවර ලෙස එම පණත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව අද (09) උදෑසන වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ අමාත්‍යාංශයේ ලේකම් එල්. පි. ජයම්පති මැතිතුමා විසිනි. වරාය සහ නාවික අමාත්‍යාංශය යටතට එන සියලු ආයතනයන්හි ප්‍රධාන නිලධාරීන් රැසක් එම වැඩමුළුවට සහභාගී වූහ. වැඩමුළුවට විශේෂ සම්පත්දායකත්වය සැපයූයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරීණි යුරේකා ලීලාරත්න මහත්මියයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූයේ 2016 අගෝස්තු 04 වැනිදායි. පණත සම්මත වී මාස 6කින් එය ක්‍රියාත්මක කළ යුතුය. අද පැවැති වැඩමුළුවේදී එම පණත ගැන අමාත්‍යාංශ නිලධාරීන් සහ පැමිණි සිටි පිරිස දැනුවත් කෙරිණ. එහිදී අදහස් දක්වමින් ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  මැතිතුමා පැවසූයේ නිරවද්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව මහජනතාව සතුවිය යුතු බවයි. එම අයිතිවාසිකම තහවුරු කිරීමට අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් සහ අමාත්‍යාංශයට අයත් සෙසු ආයතනද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා අවධාරණය කළේය.

“තොරතුරු දැනගැනීමේ පණත බොහෝ දෙනෙක් අපේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටි දෙයක්. විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේදී එය ප්‍රධාන අවශ්‍යතාවයක් වී තිබු‍ණා. මහජනතාව තොරතුරු දැනගැනීම අප සැඟවිය යුතු නැහැ කියලා පසුගිය මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිතුමත්, අගමැතිතුමත් කියා සිටියා. අපිට මේ පණත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි වුණේ ඒ ස්ථාවරය නිසා....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.