තලෙයිමන්නාරමේ සිට රාමේෂ්වරම් දක්වා බෝට්ටු සේවාවක් - ඇමති අර්ජුන හෙළිකරයි.

තලෙයිමන්නාරම් සිට රාමේෂ්වරම් දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කෙරේ. ගරු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසූයේ එහි සාකච්ඡා මේ වනවිටත් දෙරටේ නායකයින් විසින් පවත්වා ඇති බවයි. ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්ව සිදුකළ සාකච්ඡාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් තලෙයිමන්නාරම් සිට රාමේෂ්වරන් දක්වා බෝට්ටු සේවාව ඇරඹීමේ වගකීම තමන් වෙත පැවරීම ගරු කොට සලකන බව ද ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ පසුගිය ඉරුදින පැවති “වෝ ඔෆ් මන්නා” පාපන්දු තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවෙමිනි. තරඟය ජෝස් වාස් නගරයේ පිහිටි රායප්පු ජෝසප් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණී. එම ක්‍රීඩාගණයේ පැවති පළමු රාත්‍රී පාපන්දු තරඟාවලිය මෙය වීමද විශේෂත්වයකි. දෙමළ චාරිත්‍රානුකූලව පිළිගත් අමාත්‍යවරයා හට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් එදින ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට පෙර 1999 ලෝක කුසලාන තරාඟාවලියේ දර්ශන පෙළක් ඔහු වෙනුවෙන් විනාඩි 04 ක කාලයක් තුළ ප්‍රදර්ශනය කරමින් ඔවුන් සිය ගරුත්වය ප්‍රකාශ කරන ලදී.    

“මම මේ ස්ථානයට ආවාට පස්සේ මගේ මතකය අවුරුදු 30 ක් ආපස්සට මට යන්න පුළුවන් වුණා. මට මතකයි මා ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සමයේ මම ඉන්දියාවට ගියා ක්‍රිකට් තරඟාවලියක් සඳහා. අපි ආවා තලෙයිමන්නාරම් වලට. ඊට පස්සේ රාමේෂ්වරම් වලට ගියා. තලෙයිමන්නාරම්වල තිබුණු පර්යන්තය මම අද දැක්කා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, ඉන්දීය අග්‍රාමාත්‍යවරාය සමඟ මේ බෝට්ටු සේවාව ගැන සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස තලෙයිමන්නාරම්වල සිට රාමේෂ්වරම් දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා සැළසුම් සකස් කරමින් සිටිනවා. මම මෙය අවස්ථාවක් කරගන්නවා ස්තූතිවන්ත වෙන්න සංවිධායක මණ්ඩලයට මට මෙම අවස්ථාවට  ආරාධනා කිරීම සම්බන්ධයෙන්. එමෙන්ම අවසන් තරඟය සඳහා මුහුණ දෙන කණ්ඩායම් දෙක වෙත මේ මොහොතේ මා සුභ පැතුම් එක් කරනවා. මම ක්‍රිකට් ගහනවා මේ අය දැකලා ඇති නමුත් මාව සජීවීව දැක්ක පළමු අවස්ථාව මෙය වෙන්න ඇති. ඒක මට ලොකු සතුටක්....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.