අතීතයේ වැරදී ස්මරණය කිරීම පසෙකලා අනාගත සංවර්ධන වැඩිපිළිවෙළ හා එක්වෙමු - ඇමති අර්ජුන පවසයි.

අතීතයේ සිදුවූ වැරදි ස්මරණය කිරීම නොව සාර්ථක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් අනාගතය සවිමත් කිරීම වැදගත් වන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අරජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද (19) පෙරවරුවේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සී/ස ලංකා නැව් සංස්ථාවේ පැවති පිළිගැනීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ ආයතනයේ ජීවනාලිය බඳු අවංක හා ක්‍රියාශූර සේවකයින් රැකගැනීමට තමා නිරතුරුවම කැප වී සිටින බවයි. ආයතනය වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමටත් ආයතනය රැකගැනීමටත් සියලුදෙනා එක්සිත්ව නව වසරේදී අධිෂ්ඨාන කරගතයුතු බවද එතුමා එහිදී  අවධාරණය කළේය. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මැතිතුමා, අතිරේක ලේකම් කොන්ති පෙරේරා මහත්මිය, නැව් සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා, සමාන්‍යාධිකාරී නිහාල් ධර්මප්‍රිය මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්වූහ.

“ අපි රටක් හැටියට අවුරුදු දෙකක් මේ ආණ්ඩුව පවත්වාගෙන ගියා. අපි ආණ්ඩුවක් අරගෙන එනකොට කතිකාවතක් තිබුණා මේ නැව්  සංස්ථාව තිබිය යුතුද කියලා. මම අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නට පසුව සාකච්ඡාවන් තිබුණා ඒ සම්බන්ධව. මෙය තිබිය යුතුද පෞද්ගලීකරණය කළ යුතුද කියලා. නමුත් එතනදි ඒ තීරණයට විරුද්ධ වෙලා මේ ආයතනය ගොඩගන්න පුළුවන් කියන අධිෂ්ඨානය සමගින් අපි වසර දෙකක් ක්‍රියාත්මක වුණා.  පසුගියකාලයේ ගත්ත සමහර තීරණ ගැන අපි කතා කර කර ඉන්නවා කියන්නේ අපි යන්නේ ආපස්සට. ඒ වගේම තමයි පසුගිය කාලේ සිදුකළ වැරදි තියෙනවා නම් මම ඒවා හරි ගස්සන්න යන්නේ නැහැ. වැරදිකරුවන්ට දඞුවම් කළ යුතුයි. ඒක මගේ ප්‍ර‍තිපත්තිය. මේ වගේ ආයතන මේ කඩාවැටුනේ පසුගිය ආණ්ඩුවේ ඇතැම් අයගේ වැරදි තීරණ නිසා. විශේෂයෙන්ම මේ ආයතනයට නැව් දෙකක් අරගෙන තිබුණත් නැව් හතරන් ගන්න පුළුවන් සල්ලි වලින් තමයි ඒ නැව් දෙක අරගෙන තියෙන්නේ.  ඒ සම්බන්ධයෙන් අද වනවිට එෆ් සී අයි ඩී පරීක්ෂණ සිදුකෙරෙනවා. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් කතා කළ යුතු නැහැ. මෙවැනි තත්ත්වයක් තියෙද්දී තමයි 2015 වසරේ මම අමාත්‍යවරයා විදියට පත්වුණේ. අද වනවිට පෞද්ගලීකරණය කිරීම අපේ ආණ්ඩුවේම කතිකාවක් නොවුණට එය ආණ්ඩුවේ එක් පැත්තක කතිකාවතක් කියන එක අමතක කරන්න එපා. ඒක වරාය අධිකාරියටත් තියෙනවා. තමුන්නාන්සේලාටත් තියෙනවා. මේ රටේ ආණ්ඩුව යටතේ තියෙන හැම ආයතනයකම තියෙනවා. ඒවගේම මම සල්ලි දෙන්න අකමැති කෙනෙක් නෙවෙයි. මම වැඩ කරන කෙනාව පරිස්සම් කරන කෙනෙක්. ඒ වගේම හොඳට වැඩකරන කෙනාව ආරක්ෂා කරන කෙනෙක්. නමුත් හොරකම් දූෂණවලට හැරෙන කෙනාව ඉස්සෙල්ලාම දාලා යන්නේත් මම තමයි. ඒක මගේ ක්‍ර‍මවේදය. මම දන්නවා ඕනෑම ආයතනයක නිහඞව තමුන්ගේ රැකියාව හොඳින් කරන මිනිස්සු ඉන්නවා. එවැනි මිනිසුන්ව ආරක්ෂා කරගැනීමේ වගකීම ඇත්තේ සභාපතිවරයාට පමණක් නොවේ. ඇමතිවරයා හැටියට මට ඒ වගකීම තියෙනවා....”  යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග මහතා පැවසූයේ පසුගිය වසරේදී ලංකා නැව් සංස්ථාව සාර්ථක ලෙස ගල් අඟුරු ප්‍ර‍වාහනය සහ අනෙකුත් මෙහෙයුම්හි නිරත වෙමින් තම කීර්තිනාමය තවදුරටත් රැකගැනීම සතුටට හේතු වන බවයි. එසේම මෙතෙක් දුෂ්කර කටයුත්තක්ව පැවති ශ්‍රී ලාංකික නාවික සිසුන්ගේ දිය මත ප්‍රායෝගික පුහුණුවට නැව් සංස්ථාව කදිම තෝතැන්නක් වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.