වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් අරඹයි.

කොලඹ වරායේ අළුතින් ඉදිවන බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කෙරිණ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විශේෂ අමුත්තෙකු ලෙස සහභාගි විය.මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 789 ක මුදලක් වැය වන බව අමාත්‍යංශය අවධාරණය කරයි. මෙම සමස්ථ ආයෝජනයෙන් 51% ක් කොටස් අදානි සමාගමට,  34%  ක කොටස ජෝන් කීල්ස් ආයතනයට, සහ 15% ක කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වේ. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ජැටියේ දිග මීටර් 1400 කි. සමස්ථ පර්යන්තයේ ප්‍රමාණය හෙක්ටයාර් 65 කි. මෙම පර්යන්තයේ බහාලු ධාරිතාව මිලියන 03 ක් වේ. අදියර 02 කින් ඉදිකෙරෙන මෙම පර්යන්තයේ පලමු අදියර යටතේ මීටර් 800 දිග ජැටියක් ඉදිකිරීමට සහ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 18 ක් සවිකිරීමට නියමිත බව ඉදිකිරීම් සමාගම අවධාරණය කරයි. අද පැවති උත්සව අවස්ථාවේදී අමාත්‍යවරයා කරුණු දක්වමින් : ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ඉන්දියානු රජය විශාල සහයක් ලබා දුන් බව පැවසීය. මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලැබෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිවන බවද පැවසීය. මෙම අවස්ථාවේදී ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා කථා කරමින් මෙම ව්‍යාපෘතිය තුලින් දෙරටේ මිත්‍රත්වය තවදුරටත් තහවුරු වන බවත්,  ඒ සඳහා ඉන්දියානු මහ කොමසාරිස් වරයා ලෙස සුභපැතුම් එක්කරන බවත් පැවසීය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ්, නියෝජ්‍ය ඉන්දියානු මහකොමසාරිස් - විනෝද ජාකොබ්, ප‍්‍රධාන විධායක නිලධාරී අදානී පෝර්ට් - ඩෙ‍්‍රජින් කපිතාන් අන්මේෂ් අභ්‍යන්කර්, නියෝජ්‍ය සභාපති ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් - ගිහාන් කුරේ, ප‍්‍රධාන විධායක නිලධාරී කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගම (CWIT (Pvt) Ltd) - හරික‍්‍රිෂ්නන් සුන්දරම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිය .