වරායෙන් මුදවා නොගත් දොඩම් බහාලූ 03ක් රෝහල් වලට බෙදා හරී

ආනයනය කොට වරායෙන් මුදවා නොගත් කහ දොඩම් බහාලූම්(Container) 03 ක් රෝහල් වලට බෙදාදීමට වරාය, නාවික හා  ගුවන්සේවා  අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කරන ලදීඒ අනුව පසුගිය දින එම කහ දොඩම් බහාලූම් 03ක් වරායේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙන ලදී.

මෙම දොඩම් කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පළාත්බද රෝහල් 60කට පමණ බෙදාදීමට සැළසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ප‍්‍රදානයන් පිළිබඳ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මෙහිදී අවධාරණය කළේ ය.

එක් දොඩම් බහලූවක දොඩම් කිලෝ 24000 කට ආසන්න ප‍්‍රමාණයක් පවතින අතර වරාය අධිකාරියට අයත් ජයබහලූ පර්යන්තයේ ගොඩබාන ලද මෙවැනි බහළු 02ක් ගරු වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යතුමා හා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ් යන මහත්වරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යතුමා වෙත භාර දෙන ලදී

තවද කොළඹ ජාත්‍යන්තර පර්යන්ත සමාගමේ (CICT) අංනයෙන් ගොඩබාන ලද මෙවැනිම තවත් බහාලූවක් එහි සාමාන්‍යාධිකාරි දොන් ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා වෙත භාර දෙන ලදී.

ඒ අනුව බහාලූ තුනෙහිම දොඩම් කිලෝ 72000ක පමණ ප‍්‍රමාණයක් අඩංගු වී ඇති අතර මෙහි දළ වානිජ වටිනාකම මිලියන 72ක් පමණ වේ (කිලෝ එකක වෙළදපල වටිනාකම රු. 1000/- ලෙස තක්සේරුව අනුව)මෙම දොඩම් නොමිලේ රෝහල වෙත ලබා දෙන බැවින් මුදල් අමාත්‍යාංශය අදාල රේගු බදු ඉවත් කර ඇති අතර ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා ( CICT) පුද්ගලික පර්යන්තය අංගන ගාස්තු අය කිරීමකින් තොරව භාණ්ඩ නිදහස් කිරීමට තීරණය කර ඇත.මේ අවස්ථාවට ශ‍්‍රි ලංකා රේගුව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, වරාය හ, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී කෙරිනි.