කොළඹ වරායට මගී නෞකා වසන්තයක්.

කොළඹ වරාය වෙත නෞකා පැමිණීම මේ දිනවල ඉහළ ගොස් ඇත. මාර්තු මාසයේදී පමණක් සුවිශාල මගී නෞකා 11 ක් කොළඹ වරායේ මගී පර්යන්තය ප්‍රමුඛ කොටගත් අනෙකුත් පර්යන්ත වෙත සේන්දු වී තිබේ. ලෝකයේ වාර්ෂික සංචාරක වසන්තය  උදාවීමත් සමඟ මෙලෙස කොළඹ වරාය වෙත ද මගී නෞකා පැමිණීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

එමෙන්ම රජයේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන අනුව සංචාරකයින් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා රජය විසින්ද  මේ වනවිට  නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.

මාර්තු මාසයේදී පමණක් COSTA NEORIVIERA, ISLAND SKY, ROTTERDAM, PACIFIC PRINCESS, AIDA BELLA AMESTERDAM, EUROPA – 2, AURORA COSA LOM INOSA යන නෞකා පැමිණ ඇති අතර,  අද දින (2016.03.31) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමගි බහලු පර්යන්තය වෙත MEIN SCHIFF -I මගී නෞකාව සේන්දු විය. එය මීටර 264ක් දිග, මීටර් 8.5ක් පළල නෞකාවකි. මෝල්ටා ධජය යටතේ ලොවපුරා සංචාරයේ යෙදෙන මෙම නෞකාවේ මගීන් 1924 දෙනෙකු  සඳහා පහසුකම් පවතී.

මෙලෙස පැමිණි මගී නෞකා සඳහා ඒ ඒ දේශීය නියෝජිත  ආයතනයන්ට අවශ්‍ය සේවා කඩිනම්ව ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිරන්තරව කැපවී සිටින අතර, කොළඹ වරායේ අපූර්වත්වය අතිවිඳීමටද සංචාරකයින් වෙත අවකාශය ලබාදී ඇත.

මේ හා සමගාමීව කොළඹ වරාය නැරඹීම සඳහා දෛනිකව පැමිණෙන විශාල පාසල් ළමුන් සංඛ්‍යාවකටද මෙම මගී ප්‍රවාහන නෞකා දැකගැනීමේ අවකාශය සැලසී ඇත.

ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතුතුමාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා වරාය අධීකාරියේ සභාපති ධම්මික රණතුංග මහෙතා විසින් මේ සඳහා අවශ්‍ය සැලසුම් හා උපදෙස් ඍජුවම ලබාදෙන අතර මෙහෙයුම්, නාවික සේවා සැපයුම් , ඉංජිනේරු, ආරක්ෂක ආදී කොට්ඨාස වල සියලු නිලධාරීන් හා සේවක මහතුන් දිවා රෑ කැපවී එම උපදෙස් සහ සැලසුම් ක්‍රියාත්මක කරයි.

2016 වර්ෂයේ මේ දක්වා මගී ප්‍රවාහන නෞකා 21 ක් පැමිණ ඇති අතර, ඉදිරියේදී තවත් නෞකා විශාල ප්‍රමාණයක් පැමිණීමට සැලසුම්ව ඇත.