වරාය සේවකයින්ගෙන් විස්මිත නිර්මාණයක් - මුදල දෙවැනි තැනට තැබුවොත් තවත් බොහෝ දේ කළ හැකියි. නිර්මාණය පිළිගනිමින් ඇමති අර්ජුන කියයි....

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළු මෙහෙයුම් නඩත්තු අංශය විස්මිත නිර්මාණයක් සිදු කරයි. ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රය එම විස්මිත නිර්මාණය වේ. බහළු ප්‍රවාහනයට යොදා ගන්නා මෙම ලෝ බෙඩ් යන්ත්‍රය නිර්මාණය කිරීමට වරාය පරිශ්‍රයේ ඉවතලන ද්‍රව්‍ය යොදා ගැනීමද විශේෂත්වයකි. මාස තුනකින් සාදා නිමකළ එම යන්ත්‍රයේ නිර්මාණ අයිතිකරුවන් වන්නේ රෝහණ කුමාර සහ ඒ.කේ.ඩී. රාසුරු යන වරාය සේවකයින් වේ. එහි මෙහෙයුම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු ඊ.ඒ.ඩී. එදිරිසූරිය මහතාද සැලසුම් සකස් කිරීම එම අධිකාරියේ කේ.සී.එම්. වනසිංහ සහ කේ.පී.එස්. රත්නායකද සිදු කළේය. ලෝ බෙඩ් යන්ත්‍රය වරාය මෙහෙයුම් සඳහා මුදා හැරීම අද පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේදී සුභ මොහොතින් සිදු කෙරිණ. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාව සහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා, වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ  ජයන්ත පෙරේරා මහතා ඇතුළු නිළධාරීන් රැසක් සහභාගී වූහ. පැමිණ සිටි පිරිස අමතමින් අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ වරායෙන් තමන්ට ලැබෙන දෙයට වඩා  තමන්ගෙන් වරායට සිදු විය යුතු යුතුකම් මොනවාදැයි පළමුව සොයා බැලිය යුතු බවයි.

අපිට දක්ෂ නිලධාරීන් සහ දක්ෂ සේවකයින් ඉන්නවා. අපි සියලු දෙනා එකට අත්වැල් බැඳගත්තොත් අපේ වරාය මේ තියෙන තත්ත්වයෙන් තවත් ඉහළට දියුණු කළ හැකියි. මම වගකීමක් ගත්තට පසුව මඟදාලා දුවන කෙනෙක් නෙවෙයි. මට මොන ප්‍රශ්න තිබුණත් මොනතරම් මඩ ගැහුවත් මම භාරගත්ත වැඩේ මඟ දාලා ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් හිනාවට ලක් කරන්නේ නැහැ. ඒ දෙපළ මට වරාය භාරදුන්නේ ලොකු විශ්වාසයක් ඇතිවයි. ඒ විශ්වාසය මම අදත් හෙටත් හැමදාමත් රකිනවා....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

බහළු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා සාමාන්‍ය ට්‍රේලර් යන්ත්‍රයකින් එසවිය හැකි බර ප්‍රමාණය ටොන් 35 කි. නමුත් වරාය සේවකයින් නිර්මාණය කළ ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රයෙන් ටොන් 60 ක බර ප්‍රමාණයක් එසවිය හැකිය. එමගින් අඩි 20 බහළුම් එසවීමට හැකි වීමද විශේෂත්වයක් වේ. නමුත් සාමාන්‍ය ට්‍රේලරයකින් එසවිය හැක්කේ අඩි නවයක් උස බහළුවක් පමණි. මෙම විශිෂ්ට නිර්මාණය අගයමින් සමරු තිළිණ හුවාමරු කිරීමද අද සිදු කෙරිණ.

අද අපි රටක් ලෙස ඉදිරියට යා යුතුයි. නමුත් අද අපිට සිදු වෙලා තියෙන්නේ අනුන්ගේ කුණු කන්දල් අරන් ඉදිරියට යන්න. අද අපි භාවිත කරන උපකරණ අවුරුදු ගණනාවක් පරණයි. නමුත් ඵලාදායිතාවයෙන් ඉහළයි. පෞද්ගලික පර්යන්තවල තියෙන්නේ අලුත් ට්‍රේලර් යන්ත්‍ර. එම යන්ත්‍ර නඩත්තු කිරීම, පාලනය කිරීම පහසුයි. ඒවායේ ඵලදායිතාවත් ඉහළයි. නමුත් අපි ඉදිරියට යන්න නම් අලුතින් සිතා යමක් කළ යුතුයි. ඒ සඳහා තමයි අපේ සේවකයින්ගේ දැනුම අවශ්‍ය වන්නේ. අපිට අවශ්‍ය උපකරණ පිට අයගෙන් ගත යුතු නැහැ. අපිටම නිර්මාණය කර ගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි මේ ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රය. මෙවැනි අලුත් දේ කරන්න ඔබ සියලු දෙනාම සිතට ගන්න. වගකීම ගන්න. මුදල කියන දෙය දෙවැනියට තියන්න... යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙහිදී අවධාරණය කළේය.