සමුද්‍රීය ක්ෂේත්‍රයේ කාන්තාවන්ට ඇති අවස්ථා පුළුල් කිරීම මගේ මූලික අරමුණක්

සමුද්‍රීය ක්ෂේත්‍රයේ කාන්තාවන් බලගැන්වීම සහ ඔවුන්ට ඇති අවස්ථා පුළුල් කිරීම තම මුඛ්‍ය පරමාර්ථය වන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද (25) උදෑසන ජාත්‍යන්තර සමුද්‍රීය දිනයට සමගාමීව ගලදාරී හෝටලයේ පැවති උත්සවයේ ප්‍ර‍ධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි. CASA ආයතනය මගින් සංවිධානය කර තිබූ එම උත්සවයට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, CASA සභාපති Iqram Cuttilam මහතා,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති එමරික් ප්‍ර‍නාන්දු මහතා,  නාවික ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, කුමන බාධක පැමිණිය ද සමාජයක් වශයෙන් නිශ්චිත අරමුණක පිහිටා කටයුතු කිරීම වැදගත් වන බවයි.

‘‘මෙවර ජාත්‍යන්තර සමුද්‍රීය දිනයේ ප්‍ර‍ධාන තේමාව වන්නේ සමුද්‍රීය ක්ෂේත්‍රයේ කාන්තාවන් දිරිගැන්වීමයි. එමගින් සමුද්‍රීය ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයක් අත්පත් කරගත හැකි බව මගේ විශ්වාසයයි. දැනටමත් අපි  ඒ සඳහා ශ්‍රී ලංකාවේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒක සතුටට කරුණක්. ඒ සඳහා හොඳම උදාහරණයක් වෙනවා මෑත කාලීනව පැවැත්වූ WISTA සමුළුව. ජාත්‍යන්තර සමුද්‍රීය ක්ෂේත්‍රයේ පැවති ප්‍ර‍ධාන ගැටළුවක් තමයි ස්ත්‍රී-පුරුෂ වෙනස පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම. එම තත්ත්වය නැති කරන්න මේ වනවිට කටයුතු කරලා තියෙනවා. ජාත්‍යන්තරයේ වෙනසකින් තොරව කාන්තාවන් ද සමුද්‍රීය ක්ෂේත්‍රයේ පුරුෂයින් හා කරට කර වැඩ කරනවා.  අපි රටක් වශයෙන් ඒ තත්ත්වය වැඩි දියුණු කරන්න කටයුතු කළ යුතුයි. ස්ත්‍රීන්ගේ ගුණාත්මක භාවය වැඩිකිරීමෙන් අපිට කාන්තාවන් එම වෘත්තීන් සඳහා යොමු කළ හැකියි. මෙම ක්ෂේත්‍රයේ තීර‍ණ ගන්නා පිරිසක් හැටියට අපි කාන්තාවන් සඳහා ගොඩබිම මෙන්ම මුහුදෙහි රාජකාරී කටයුතු වල නිරත වීමට අවශ්‍ය වාතාරවරණය සකසා දිය යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස වන්නේත් ඕනෑම ක්ෂේත්‍ර‍යක වර්ධනයක් ඇතිවීමට කාන්තාවන්ගේ ගුණාත්මක දායකත්වය බලපාන බවයි. සමුද්‍රීය පරිපාලන ක්ෂේත්‍ර‍ය සඳහා දිරිගැන්වීම, වරාය හා නාවික ක්ෂේත්‍ර‍යට අදාළ පුහුණු කටයුතු සඳහා අවස්ථාවන් ලබාදීම, නාවික කටයුතු  සඳහා කාන්තාවන් යොමු කිරීම මෙන්ම වෘත්තීමය නිපුණත්වය ඇති කිරීම තුළින් ඔවුන්ගේ අනාගතය සවිමත් කිරීම අපේ ද වගකීමක් වෙනවා. පුරුෂයින් හා සමානව තාක්ෂණික නිපුණත්වය ලබාගැනීමට කාන්තාවන් අපි පුහුණු කළ යුතුයි. මෙමගින් අපට විශාල ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගත හැකියි වගේම සමස්ත රටේ සංවර්ධනයට ද එය විශාල දායකත්වයක් ලබාදෙනවා. සමාජයක් ලෙස මෙවැනි විශාල ප්‍ර‍තිලාභ අපට ලබාගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම වෘත්තීමය වශයෙන් දක්ෂ කාන්තාවන්ට මෙම ක්ෂේත්‍රයේ ඉහළ ශ්‍රේණියේ රැකියා අවස්ථා ලබාගත හැකියි. මෙසේ කාන්තාවන් බලගැන්වීමට ජාත්‍යන්තරයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රජයක් ලෙස අපි හැමවිටම සමුද්‍රීය ක්ෂේත්‍රයේ කාන්තාවන් බලගැන්වීම සඳහා අපේ සහයෝගය ලබාදෙනවා. 

ඒ වගේම අපි අපේ ක්ෂේත්‍රයේ නිශ්චිත අරමුණක් ඇතිව කටයුතු කිරීම වැදගත් වෙනවා. කොළඹ වරායට ගැඹුරු පර්යන්තයක් අවශ්‍යයි. ඒ වගේම ඒ සඳහා නියාමකවරයෙක් සහ මෙහෙයුම්කරුවෙකු අපි නිශ්චය කරගත යුතුයි. එනිසා ඒ සම්බන්ධයෙන් අපි ලබන වසරේ දී තීරණයක් ගන්නවා. ඒ අතර ඡන්ද දෙක තුනකටම ලෑස්ති වෙන්නත් සිදුවෙනවා. නමුත් අපි හැමවිටම අපේ අත්‍යවශ්‍ය රාජකාරියට අවධානය යොමු කළ යුතුයි. අපේ අරමුණ කරා අපි ගමන් කළ යුතුයි. ඒ සඳහා විවිධ බාධක එනවා. නමුත් එම බාධක නොසළකා ඉදිරියට යෑමට අපි සියලු දෙනා කටයුතු කිරීම වැදගත් ......” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.