වරාය ගැඹුරු කරන දිය කොව්ලා, හංසකාවා ඇමති මැදිහත්වීමෙන් නැවත වැඩ අරභයි.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මැදිහත්වීම හා උපදෙස් මත, මෙහෙයුම් නවතා තිබූ වරාය ගැඹුරු කිරීමේ යාත්රා වූ දිය කොව්ලා හා හංසකාවා යාත්රා ද්විත්වය නැවත මෙහෙයුම් සඳහා එක් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්රී ලංකා වරාය අධිකාරියට අයත් ඉහත යාත්රා ද්විත්වය පුහුණු සේවකයින් හිගකම හේතුවෙන් වරාය ගැඹුරු කිරීමේ, රොන්මඩ ඉවත් කිරීමේ මෙහෙයුම් වලින් ඉවත් කොට ඇතිබව නිලධාරින් හා සේවකයින් විසින් අමාත්යතුමන් වෙත වාර්තා කෙරිණි.  අමාත්යවරයා පෞද්ගලිකවම මේ පිළිබඳව සොයා බැලීම සඳහා බණ්ඩාරනායක පර්යන්තයේ නවතා තිබූ මෙම යාත්රා වෙත පැමිණි අතර, එහිදී වරායේ දැනට සිදුවෙමින් පැවති සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීම “හංසකාවා” යාත්රාවෙන් වරාය තටාකයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වි ය.

එහිදී වෘත්තීය සේවකයින් බදවා ගැනීම් මේ වනවිට නවතා දමා ඇති පසුබිමක සේවක හිගය හේතුවෙන් මෙම අත්යවශ්ය යාත්රා ද්විත්වය මෙහෙයුම් නවතා තැබීම අමාත්යතුමන්ගේ දැඩි අවධානයට ලක් වි ය.

කොළඹ වරාය තුල අනෙකුත් සියලු පර්යන්ත සිය සංවර්ධන ඉලක්ක වෙත ගමන් කරන අවස්ථාවක කොළඹ වරාය තුල රැස්වන වැලි හා රොන්මඩ ඉවත් කිරීම වෙනුවෙන් යොදවන මෙම යාත්රාවන්හී මෙහෙයුම් කටයුතු නැවැත්වීම හේතුවෙන් විශාල නෞකාවන් පැමිණීමට පවා බාධාවන් ඇතිව ඇති බව නිලධාරින් හා සේවකයින් විසින් අමාත්යතුමන් වෙත අනාවරණය කෙරිණි.

මේ පිළිබඳව සිය අවධානය යොමු කරමින් නිලධාරින් හා සේවකයින් සමග සාකච්ඡා කළ අමාත්යතුමන් කඩිනම් පියවරක් ලෙස තාවකාලිකව නියමිත පුහුණුවකින් පසුව 08 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් දැනට සිටින වරාය සේවකයින්ගෙන් ආවරණය කර ගැනීමට අමාත්යතුමන් විසින් උපදෙස් ලබා දෙන ලදි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වරාය නාවික හා ගුවන්සේවා අමාත්යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්ර මහතා ඇතුලු ශ්රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරින් පිරිසක් සහභාගි විය.