මේ රටේ බෞද්ධාගමට  හිමි තැන නැති කරන්නේ නැහැ - ඒ වගේම අන්‍ය ආගම්වලට හිමි තැන උදුරා ගන්නෙත් නැහැ.

සාමය සහ සහජීවනය සුරක්ෂිත රටක් බිහි කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුවට හැකි වී ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. බඩගෝස්තරවාදී දේශපාලනය නතර කර ආගමික සංහිදියාව ඇති කිරීමට කාලය එළැඹ ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ ලොව උසම නත්තල් ගස නිර්මාණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. අර්ජුන රණතුංග සමාජ සත්කාරය සංවිධානය කළ එම උත්සවය අද උදෑසන (18) කොළඹ ගාලුමුවදොර පිටියේ වරාය අන්තයේදී පැවැත්විණ.

ලෝකයේ උසම නත්තල් ගස නිර්මාණය කිරීමේ ලෝක වාර්තාවට හිමිකම් කියනුයේ මෙක්සිකෝවයි. එහි උස අඩි 295ක් වේ. එම වාර්තාව බිඳ දමමින් ලොව උසම නත්තල් ගස ගාලුමුවදොර පිටියේදී නිර්මාණය කිරීම අර්ජුන රණතුංග සමාජ සත්කාරයෙහි මූලික අපේක්ෂාව වේ. ඒ සඳහා මංගල පස්පිඩැල්ල කැපීම පෙරවරු 10යි 7ට යෙදුණු සුබ මොහොතින් අද සිදු කළේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සුරතිනි. ඒ සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමිනි. අනතුරුව උත්සව සභාව ඇමතූ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් දේශපාලනඥයින් පටු අරමුණු වෙනුවෙන් ආගමික සංහිදියාව බිඳ දැමීමට කටයුතු කරන බවයි.

 “ඊළඟ පරම්පරාවට මේ රට භාර දෙනවිට ජාතීන් අතර ප්‍රශ්න නැතිවිය යුතුයි. ආගම් ප්‍රශ්න නැත්තටම නැතිවිය යුතුයි. අද අපේ මහානායක ස්වාමීන් වහන්සේලා, පියතුමන්ලාට, මවුලවිතුමන්ලාට, හින්දු පූජකතුමන්ලාට එකට ඉඳගෙන තම තමන්ගේ  ආගම් ගැන කතා කරන්න පුළුවන් වටපිටාවක් සැකසී තියෙනවා. බෞද්ධ රටක් හැටියට සෑම විටම අනෙකුත් ආගමික නායකයින් බෞද්ධාගමේ සුරක්ෂිතතාවට දක්වන්නේ විශේෂ සහයෝගයක්. විශේෂයෙන්ම පසුගිය දිනක අපේ කාදිනල් හිමිපාණන් වහන්සේ බෞද්ධාගමට හානියක් වීමට ඉඩ නොතැබිය යුතු බවට ප්‍රකාශ කළා. එවැනි ආගමික නායකයෝ අපේ රටේ සිටින විට දේශපාලකයින් මීට වඩා බුද්ධිමත් විය යුතුයි. ආගම, ජාතිය විකුණා තමන්ගේ බඩගෝස්තරය රැක ගන්න පාර්ලිමේන්තුවේ සිටින සමහර මන්ත්‍රීවරුන්ට මම කියන්නේ රටත් සමග සෙල්ලම් කිරීම නතර කරන්න. අද අපිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් සමඟ සාර්ථක ගමනක් යන්න අවස්ථාව ලැබිලා තියෙනවා....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.  

කොළම ගාලු මුවදොර පිටියේ වරාය අන්තයේ ඉදිකිරීමට නියමිත ලොව උසම නත්තල් ගස සඳහා ප්‍රමුඛ අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමයයි. සාමය සහ සහජීවනය ලොවට කියා පාන මෙම උසම නත්තල් ගස එළැඹෙන දෙසැම්බර් මාසයේ 24වැනිදා විවෘත කිරීමට නියමිත බවද අර්ජුන රණතුංග සමාජ සත්කාරය පවසයි.