අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ මාගම්පුර වරාය සංචාරයෙන් ගැටළු රැසකට විසඳුම්

ගැටළු රැසකට මුහුණ දී ඇති හම්බන්තොට මාගම්පුර වරාය ව්‍යාපෘතිය හා එහි සේවක ගැටළු සොයාබැලීම සඳහා පසුගියදා එහි සංචාරයක නිරත වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා  මාගම්පුර වරායේ සියලුම සේවක පිරිස් සමග පැවති සාකච්ඡාවේදී සේවකයින් විසින් කරන ලද ඉල්ලීම් වලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ මාගම්පුර වරාය කිසිඳුඅයුරකින් විකිණීමට ක්‍රියා නොකරන අතර වරායේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරමින් රට මුහුණ පා ඇති ණය බර අඩු කරගැනීම සදහා ජාතික අවශ්‍යතාවයට(National Interest) මුල් තැන දෙන නව ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවයි.  එමෙන්ම එම වැඩපිළිවෙළ තුළදී වරායේ සේවය කරන සියලුම සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතභාවය සඳහා පවතින නීති රීති අදාළ කොටගනිමින් මානුෂීය පදනම මත ක්‍රියා කරන බවද පැවසීය.

මෙම අවස්ථාවට වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල් පී ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අචාර්ය පරාක්‍ර‍ම දිසානායක, හම්බන්තොට මාගම්පුර වරායේ සභාපති සුගත් හඳුන්ගේ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.