2015 වසරේදී කොළඹ වරායට පැමිණි නෞකා ප්‍රමාණයේ 13.1% ක වර්ධනයක්.....

2014 වසරට සාපේක්ෂව 2015 වසරේදී කොළඹ වරායට පැමිණි සමස්ත නෞකා ප්‍රමාණයේ 13.1% ක වර්ධනයක් වාර්තා වේ. 2014 වර්ෂයේ දී කොළඹ වරායට පැමිණි සමස්ත නෞකා ප්‍රමාණය 3409කි. 2015 වර්ෂයේදී එය 3854 ක් ලෙස වර්ධනයවී ඇත. මෙයින් 2014 වසරේදී කොළඹ වරායට පැමිණි බහළුම් නෞකා ප්‍රමාණය 2957ක් වේ. 2015 වසරේදී එම බහළුම් නෞකා ප්‍රමාණය 3333 දක්වා ඉහළ ගොස් ඇත. එහි වර්ධනය සියයට 12.7කි. සාම්ප්‍රදායිකව නැව් බඩු ප්‍රවාහන නෞකා පැමිණීමද 2014 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේදී 80%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, එකී නෞකා ප්‍රමාණය 2014 වර්ෂයේ 25 ක් ලෙසද, 2015 වර්ෂයේ  45 ක් ලෙසද වාර්තා වේ. එමෙන්ම නෞකා, වාහන  ප්‍රවාහන, දියර නැව් බඩු, ඉන්ධන ප්‍රවාහන, අලුත් වැඩියා සඳහා පැමිණි නෞකා ප්‍රමාණයද 328 සිට 359දක්වා වර්ධනය වී ඇත. එය 9.5%ක වර්ධනයකි. වෙනත් සේවා සඳහා පැමිණි නෞකා ප්‍රමාණය 2014 වර්ෂයේ 99ක් ලෙසද, 2015 වර්ෂයේ 117ක් ලෙසද වාර්තා වේ. එහි වර්ධනය සියයට 18.2කි. මෙම වර්ධනය ගැන අදහස් දක්වමින් ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ මේ වන විට කොළඹ වරායේ කාර්යක්ෂමතාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවයි.

 “අපි අලුත් ආණ්ඩුවක් ජනවාරි 08 වැනිදා හදපු දවසේ ඉඳලා තිබුණ කැපවීම අද වෙනකොට ප්‍රතිඵල දරලා තියෙනවා. ඉදිරිකාලයේදී නැගෙනහිර  පර්යන්තයේත්, බටහිර පර්යන්තයේත් විශාල සංවර්ධන වැඩපිළිවෙළක් කරන්න බලාපොරොත්තුවෙනවා. කොළඹ වරාය දැනට තියෙන්නේ ලෝකයේ 26 වැනි ස්ථානයේ. අපි බලාපොරොත්තුවෙනවා ලබන වසර අග වෙනකොට මේ වරාය පළවෙනි විස්ස අතරට ගේන්න. එය විශාල අභියෝගයක්. මං හිතනවා සේවකයන්ගේ දායකත්වය අපිට ලබලා දීලා තියෙනවා. විශේෂයෙන්ම වෘත්තීය සමිති අපි සමඟ කිට්ටුවෙන් වැඩකරලා ආයතනයේ තියෙන අමාරුකම තේරුම් අරන් තියෙනවා.....” යැයිද එතුමා එහිදී පැවසීය. කොළඹ වරායට පැමිණි නෞකාවල වර්ධනය දැක්වෙන වගුව පහත පරිදි වේ.

 

2014 වසර

2015 වසර

වර්ධනය ප්‍රතිශතයක් ලෙස

බහළුම් නෞකා

                                      

2957

3333

12.7%

 

සාම්ප්‍රදායික නැව් බඩු ප්‍රවාහන නෞකා

    25

    45

80%

වෙනත් නැව් භාණ්ඩ ප්‍රවාහන නෞකා

  328

  359

  9.5%

වෙනත් සේවා සඳහා පැමිණි නෞකා

    99

  117

18.2%

 

 

සමස්ත එකතුව

3409

3854

13.1%