හම්බන්තොට වරායට නැව් තටාකාංගණයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙරට ප්‍රධානතම ආයතනයක් බවට පත් කිරීම ඉදිරි පස් අවුරුදු සැලැස්ම බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසුවේ හම්බන්තොට  වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. කොළඹ වරාය මෙන්ම ගාල්ල, ත්‍රිකුණාමලය, ඔළුවිල්, කන්කසන්තුරේ සහ හම්බන්තොට ඇතුළු සෙසු වරායන්ද දියුණු කිරීමට දැනටමත් පියවර ගෙන ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා මෙහිදී පැවැසීය.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය වරාය සහ නාවික අමාත්‍යාංශ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (17) පැවැත්වුණේ අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ නිරීක්ෂණයෙනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියත් කොස්කෝ ෂිප්යාර්ඩ් සමූහ සමාගම (Cosco Shipyard Group Co. LTD.) සහ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් සමාගමත් (China Harbour Engineering co. LTD.) එම ගිවිසුමට අත්සන් තැබීය. 

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 600කි. එය ඍජු ආයෝජනයක් වීම එහි විශේෂත්වයයි. නැව් අළුත්වැඩියා කිරීම පමණක් නොව අළුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලු නැව් සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වූ වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය වශයෙන් රැකියා අවස්ථා ඉහළ සංඛ්‍යාවක් ජනනය කිරීමට හැකියාව ලැබෙන බවයි. වසරක් ඇතුළතදී ලබාදෙන ශක්‍යතා වාර්තාවෙන් පසුව නැව් තටාකාංගණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පැවසීය.